ඔබව වේදනාවට පත් කරන පුද්ගලයන් සමග සාර්ථකව ගනුදෙනු කළ හැකි ක්‍රම 5 ක්.

0
16


“ඔයා මගේ වැඩවලට ඇඟිලි ගහන්න එපා. මගේ වැඩ පැන පැන කරල බොස්ගෙන් ලකුණු දාගන්න නේද හැදුවෙ. අනික මං හම්බවෙන්න එන කෙනා ගැන මට බලාගන්න පුළුවන්. ඔයා කසාද බැඳලා නැතුවට අපි බැඳපු මිනිස්සු. අපට ගෙවල් දොරවල් තියෙනවා. හොයල බලන්න මිනිස්සු ඉන්නවා. දරුවො ඉන්නවා. ඒකටත් එක්ක තමුන්. තමුන්ට මිනිහෙක් හොයාගන්න බෑ. දරුවෙක් මල්ලෙක් නෑ. හරිහමං යාලුවෙක් නෑ. ඉතින් අනුන්ට ඉරිසියාකම් කර කර ඉන්නවා” .

මේ බැනුම් ටික ඇහුවේ පෞද්ගලික ආයතනයක ලිපිකාරිණියක් හැටියට වැඩ කරන ජයංගනී. ඈ මගේ මිතුරියක්. මේ සිද්ධියට ඈ මුහුණ දුන්නේ ඔවුන්ගේ රැකියා ස්ථානයට සේවාවක් ලබා ගැනීමට ආ මහත්මයෙකුට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඉක්මණින් උදව් කරන්නට යාම නිසයි. ඒ මොහොතේ ඇගේ යාබද අසුනේ රේණුකා සිටියේ, දිග දුරකතන ඇමතුමක. ඉතින් රේණුකාට අදාළ ලිපි ගොනුව මගින් කරගැනීමට තිබූ කටයුත්තක් ජයංගනී යුහුසුළුව කරදුන්නේ රේණුකාටත් අර ආගන්තුක පුද්ගලයාටත් උදව්වක් කරන චේතනාවෙන්. ඒත් ඇයට අසන්නට ලැබුණේ කර්කෂ ඉතාම අප්‍රසන්න දෝෂාරෝපණයක්. තමන්ගේ පෞද්ගලිකත්වයට පවා අපහාස කරන ඒ චෝදනා හමුවේ ඈ නිරුත්තර වුණා. හඞා වැටුණා. හිත රිදවාගත්තා. ඉතින් ඈ මෙවැනි මිනිසුන් අතර කටයුතු කළ නොහැකි බව පවසමින් රැකියා ස්ථානයෙන් අස්වෙන්නට තීරණය කළා.

ඔබට රිදවන මිනිසුන් සමඟ ඇත්තෙන් ම ඔබ කටයුතු කළ යුත්තේ කොහොම ද? මෙවැනි සිත් රිදවීම්වල අවසානයේ කළකිරීම් පමණක් උරුම කරගෙන පසුබා සිටීම දිගින් දිගට ම කළ හැකි ද… කොහෙත් ම බැහැ.. එසේ දිගින් දිගට ම වාර ගණනාවක් රිදවීම් ළඟා කරගත්විට සිදුවන්නේ සමස්ත සමාජය ගැන කළකිරීමක් අප්‍රසාදයක් ඇතිකරගනිමින් සමාජයෙන් විනිර්මුක්ත ව හුදකලාව නිහඞ ව සිටින්නට පෙළඹීමයි. එය ඔබේ පෞරුෂයට හානිකරයි. සම්බන්ධතාවලින් ඉවත්වීම සම්බන්ධතා පවත්වාගෙන යාමට වඩා අතිශයින් අසීරුයි. මානසික ආතතිය, අධිරුධිර පීඩනය, ආම්ලිකතාව, වැනි ඔබ නොසිතන ලෙඩ රෝග කායික ව අත්පත් කරගන්නට පවා මෙවැනි රිදවීම් ඉවසා දරාගැනීම නොකඩවා සිදුකිරීම හේතුවිය හැකියි.

ඉතින් මෙවැනි මිනිසුන් කල් තියා හඳුනාගනිමින් රිදවීම් ඇතිකරගැනීමේ ඉඩ අහුරා තැබීම ඔබට කළ හැකි වඩාත් යෝග්‍ය දේ හැටියට මම යෝජනා කරනවා. මෙය එතරම් පහසු නැහැ. ඒ සඳහා ඔබ එවැනි රිදවීම් ඇතිකරන මිනිසුන් කල්තියා හඳුනාගත යුතුයි.

ඇතැම් මිනිසුන් අපට රිදවන්නේ ඇයි..අනෙකා රිදවන්නට පෙළඹෙන්නේ තමන් තුළ වූ මානසික නොසතුට, ආත්ම විශ්වාසයක් නොමැතිකම, පෞරුෂත්වයේ ගැටළු, දුර්වල පුද්ගල ප්‍රතිරූපයක් පැවතීම වැනි කරුණු හේතුවෙනුයි. රිදවීමෙන් තෘප්තිමත්වන මිනිසුන් එය ඔවුන්ගේ පුරුද්දක් කරගනිමින් වැඩියෙන් රිදුම් ලබන්නන් වෙත බලපෑම් ඇතිකරන්නට සියුම් ව උත්සාහ දරනවා. ජීවිතයේ පෞද්ගලිකත්වයට ඇතුළු වෙමින් සියල්ල හාරා අවුස්සා බලමින් දුර්වල තැන් හඳුනාගෙන අනුන් සමඟ විවේචනය කිරීම රිදවන මිනිසුන්ගේ සාමාන්‍ය ස්වභායක්. සුළු දේට පවා ඔවුන් කිපෙනවා. ඊර්ෂ්‍යා කරනවා. ඔබේ ජයග්‍රහණ, සාර්ථකවීම්, ලබන ප්‍රශංසා එවැනි අයට දරාගන්නට අසීරුයි. එවැනි තත්වයන්හි දී මානසික ව කඩාවැටෙනසුළු කිසියම් හෝ සිද්ධියක් මතුකරන්නට ඔවුන් උත්සුක වෙනවා.

තමන්ට සමාජයෙන් විශාල අසාධාරණයක් වූ බව මොවුන්, හැමවිටම පවසති. අනවශ්‍ය දේටත් වරදකාරී හැඟීම් ඔබ තුළ ඇතිකිරීම ද මොවුන්ගේ ලක්ෂණයකි. විහිළුවක් තුළ පවා අනුන්ට සරදමක් කිරීම, හාස්‍යයට ලක්කිරීම මොවුන් රුචිකරයි. අනුන් වෙනුවෙන් ප්‍රශංසාවක් කරන මොහොතක දී පවා අවසානයේ හිත්රිදවනසුළු කතාවක් ද ඊට එක්කිරීම මොවුන්ගේ සිරිතයි. අවධානය අධිකව දිනාගැනීමට නිකරුණේ දරන උත්සාහයන්ද මෙවැනි අය අතර සුලබයි.

ඉතින් මෙවැනි රිදවනසුළු මිනිසුන් මගහැර දැමීම ඇතැම්විට ප්‍රායෝගිකව ඔබට අසීරු විය හැකියි. හැකි හැමවිටම ඔවුන් ඔබට මගහැරීයනවානම් එය වඩාත් යහපත් වුණත් එසේ නොහැකිවන අවස්ථාවන්හි දී ඔබ කටයුතු කරන්න ඕනේ මේ විදියටයි.

අවශ්‍ය මානසික දුරස්ථභාවය පවත්වාගන්න. හවුලේ කරන කටයුතු හැකිතාක් අවම කරන්න. තමා මැදිහත්විය යුතු සහ මැදිහත් නොවිය යුතු තැන් හඳුනාගන්න. කේලාම් ඕපාදූප සහ නැති තැන විවේචනයට, දෝෂාරෝපණවලට කිසිවෙකුටත් ඉඩ නොතබන්න.

අනුන්ට රිදවීම පුරුද්දක් කරගත් මිනිසුන් කතාකරන වචනයක් ගානේ අඩංගු වන්නේ තවත් කෙනෙකුට කරන අපහාසයක්, නින්දාවක් හෝ විවේචනයක්. සිතාමතාම හෝ නොසිතා කරන මෙවැනි අපහාස හමුවේ ඉවසීමෙන් කටයුතු කිරීම සිත් රිදවා නොගෙන සිටින්නට ඇති එකම විසඳුමයි. එවැනි අය සමග වාද විවාදවලට පැටලෙන්නට යාම කොහෙත්ම සුදුසු නැහැ. කරුණු ඒත්තුගන්වන්නට යාමෙන් වන්නේ සිත්පෑරීම් අවස්ථා වැඩිවීම පමණයි.

ඔයා පුදුම විදියට කෙට්ටු වෙලා. ලෙඩක් ද බලන්න. අයියෝ මොකද ඔය හැටි මහත්වෙන්නේ. ඔයාට නම් මොකක් හරි ලෙඩක්. අයියෝ ඔයා කළොත් වැඩක් ඔහොමමයි.. මොනව කළත් අවුල් කරනවා. ඒ ගමන මොකක්ද කරගත්තේ වැනි සෘණාත්මක අදහස් ඔබ රිදවීමට ම කරන ප්‍රකාශ පමණක් බව අවබෝධ කරගන්න. හිත රිදීම වෙනුවට ඔවුන්ගේ නිරුවත් මානසිකත්වය ඔබට එවිට හඳුනාගන්නට හැකිවේවි. එහෙත් එයින් කෝපයට පත්වීම හෝ තරහ නඩත්තු කිරීමට යාමෙන් වළකින්න.

රිදවීම් නිරන්තයෙන් සිදුකරන මිනිසුන් ගැන කල්පනා කරන්නට, කළකිරෙන්නට, ඔබේ කාලය අපතේ යැවීම අනවශ්‍යයි. තමන්ගේ ජීවිතයේ හැම මොහොතක් ම තමන්ට වටිනා බව සිහියේ තබාගන්න. අතීතයේ හිත රිදුණු තැන්, හිත රිදුණු සිද්ධි, හිත රිදවූ මිනිසුන් ගැන සිහිපත් කිරීමෙන් ඔබට අත්පත් කරගත හැක්කේ මොනවාද? මනසට යා හැකි දුර බොහෝ වන නිසා එවැනි අමිහිරි සිද්ධි මතකයට ඒම ඇතැම්විට නොවැළැක්විය හැකියි. එහෙත් ඔබ සිතට අවධාරණය කළ යුත්තේ එය මතක් විය යුත්තේ අද නොවෙයි. මේ මොහොතේ නොවෙයි යන්නයි. හැමදවසක් ම ඒ දවස නොවන දවස් කරගන්න. රිදෙන තැන් අමතක කරන්න.

හිතකට සතුටක් එකතු කරන්නේ මිහිරි මතකයන් සහ අත්දැකීම් මෙන්ම සොඳුරු සම්බන්ධතා පමණයි. හැකිතාක් හිතේ පදිංචි කරවාගත යුත්තේ සොඳුරු සම්බන්ධතා අප සමඟ පවත්වන අපේ ජීවිතයට ශක්තියක් ලබාදෙන මිනිසුන් පමණයි. රිදවන මිනිසුන් හදවතට බරක්. හානියක්. ඒ නිසා ඔවුන් හිතෙන් පළවාහරින්න. වැඩපළේ, බස්රියේ එකට එන යන මිනිසුන් අතර එවැන්නන් සිටින විට ඔවුන්ගෙන් බාහිර දුරස්ථභාවයක් නඩත්තු කරන්නට ඇතැම්විට නොහැකි වුවත් ඔවුන් හිතේ පදිංචි කර නොගන්නට වගබලාගන්න.

ප්‍රේම සම්බන්ධයක දී, මිතුරු සම්බන්ධයක දී හෝ වෙනත් කවර සම්බන්ධයක දී වුවත් හිත රිදවාගැනීම් පමණක් උරුම වෙනවානම් ඒ සම්බන්ධතාව ඉදිරියට නඩත්තු කිරීම දෙවරක් සිතාබැලිය යුතුයි. රිදවීම්වලට හුරුවීම, විඳ දරා ගැනීම, ඇතිවන තුරු හඞා දුක තුනී කරගැනිම, තවත් අයෙකු සමඟ තමන් පසුවන මානසික තත්වය ගැන කතාබහ කර හිත සැහැල්ලු කරගැනීම තාවකාලික විසඳුම් ලබාදුන්නත් රිදවීම් නොකඩවා සිදුකරන මිනිසුන් දිගින් දිගටම ජීවිතයේ රඳවාගැනීම යහපත් සොඳුරු ජීවිතයකට හානිකර බව සිහි තබාගන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here