ඉන්දීය අගමැතිගෙන් ශ්‍රී ලංකාවට පොරොන්දු රැසක්

0
16


ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි දෙරට අතර සමාජ ආරක්ෂණ ගිවිසුම් කඩිනමින් අවසන් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මැදිහත්වීම ඉල්ලා සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති නිල හමුවෙන් අනතුරුව පැවැත් වූ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළා.

Neth Sound · ANURA 03

ඉන්දියාවේ ආරක්ෂාව මෙන්ම කලාපයේ ස්ථාවරත්වයට හානිදායක වන කිසිදු කාර්යකට ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කිරීමට ඉඩ නොදීමේ ස්ථාවරය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවේ තමන් යළි තහවුරු කළ බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ. 

Neth Sound · ANURA 01

ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා ඉන්දියාව තවදුරටත් ශ්‍රී ලංකාවට සහාය දෙන බවට නිල හමුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළ බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවා. 

එමෙන්ම විදේශීය රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ඉහළම ශ්‍රී ලාංකික ගෞරවය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය ජනාධිපතිවරයා විසින් එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රදානය කෙරුණා.

Neth Sound · ANURA 6

ඉන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසුවේ ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් මිත්‍ර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීම තමාට මහත් ගෞරවයක් බවයි.

එය හුදෙක් තමාගේ නොව කෝටි 140ක් වූ ඉන්දියානු ජනතාවට ලැබුණු  සම්මානයක් බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයාට, ශ්‍රී ලංකා රජයට හා ජනතාවට තම ආචාරය පුද කරන බවත් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියා.

ජනතාවගේ නිර්භීතභාවය හා ධෛර්යය පිළිබඳව තමා දැන සිටි හෙයින් ශ්‍රී ලංකාව වඩා ශක්තිමත්ව යළි ගොඩනැඟෙනු ඇතැයි තමා විශ්වාස කළ බවත් එහිදී ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

ශ්‍රී ලංකාව නැවත ප්‍රගතියේ මාවතට ප්‍රවිශ්ට වී සිටිනු දැක තමා සතුටට පත්වන බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා පසුව පැමිණි ආර්ථික අර්බුදය යන සියලු අවස්ථාවන්හි තම රජය ශ්‍රී ලංකා ජනතාව සමඟ එකට එක්ව සිට කටයුතු කළ බව ද ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා එහිදී සිහිපත් කළා.

සාම්පූර් සූර්ය බලාගාර ව්‍යාපෘතියේ සිට ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කිරීම දක්වා දෙරට අතර ඇතිවූ සහයෝගිතාවල ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවට ලැබෙනු ඇතැයිද ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

ශ්‍රී ලංකාව සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී පොලී අනුපාත අඩු කිරීමට තීරණය කර ඇති බවත් එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට සහායක් සහ මාර්ගයක් ලැබෙනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. 

භාරතය සහ ශ්‍රී ලංකාව අතර සියවස් ගණනක ආධ්‍යාත්මික සහ ආත්මීය සබඳතාවයක් පවතිනවා.

එය තහවුරු කරමින් 1960දී ගුජ්රාත්වලින් හමුවූ බුදුන් වහන්සේගේ ධාතු, බැතුමතුන්ට වැඳපුදා ගැනීමට සැලැස්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවට වැඩම කරවීමට කටයුතු කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම ත්‍රිකුණාමලය තිරුකෝනේෂ්වරම්, අනුරාධපුර පූජනීය නගරය, සීතාඑළිය කෝවිල යන ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට ඉන්දියාවේ සහාය ලබාදෙන බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් පැවසුවේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here