ඉන්දියාව පරාජය කළ හැකි බව ලාංකේය ක්‍රීඩිකාවෝ යළිත් පෙන්වති

0
3


නිශ්මං රණසිංහ මැයි 04, කොළඹ LNW:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩිකාවෝ යළිත් වරක් තමන්ට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම පරාජය කළ හැකි බව ඔප්පු කළහ.එය පෙරට වඩා කණ්ඩායමක් හැටියට සියලු දෙනාම අභියෝග භාර ගැනීමට සූදානමින් සිටින බව පැහැදිළි කළ ජයක් වීම අනාගතය ගැන බලාපොරොත්තු ඇති කිරීමකි.මේ වන විට සර්වෝ තුන්කොන් තරගාවලියට ශ්‍රී ලංකාවේදී තරග වඳින ශ්‍රී ලංකා,දකුණු අප්‍රිකා සහ ඉන්දියා කණ්ඩායම් අතරේ දී,ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව ලද ජයටත් වඩා වැදගත් ජයග්‍රහණයක් බවට මෙම ජයග්‍රහණය නම් කිරීම වැරදි නැත.

දකුණු අප්‍රිකානු තරගයේදී ද චමරි ගේ පිත්ත කතා නොකළත් එය සැළසුම් සහගතව ජයග්‍රහණය කරා රැඟෙන යන්නට හර්ෂිතා මාධවී සහ කවීශා දිල්හාරි සමත් විය.මේ තරගයේදී ආසන්න තරගවල ලකුණු අතරට නොපිවිසුණ බැවින් චමරි අතපත්තු සෙසු ක්‍රීඩිකාවන්ට ආරම්භක පිතිකාරිණියගේ වගකීම පවරමින් පසුපසට පැමිණියාය.අප කිහිප විටක්ම මෙය යෝජනා කළ අතර ඇය අංක හතර පිතිකාරිය ලෙස පිටියට එන තෙක් හසිනි පෙරේරා,විශ්මි ගුණරත්න සහ හර්ෂිතා මාධවී එය තමන්ට හැකි පරිදි ඉටු කළහ.අංක හතර පිතිකාරිය ලෙස දෙවන කඩුල්ල දැවීමෙන් පසුව චමරි පිටියට එද්දී ලකුණු පූවරුව 108 දක්වා ඔසවා තබන්නට ලකුණු 276 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වී තිබිණ.

ඒ අතරින් හර්ෂිතා මාධවී ඉතා වටිනා අර්ධ ශතකයක් (53) රැස් කළ අතර හර්ෂිතා සහ කවීශා නවසීලන්තයට එරෙහිව ලකුණු 128 ක් රැස් කළ ආකාරයටම මේ තරගයේදී හර්ෂිතා සහ විශ්මි (33) දෙවන කඩුල්ලට ලකුණු 78 සබඳතාවයක් පැවත්වූහ.තරගය වෙනස් කළ ලකුණු වේගය අතික්‍රමණය කළ සබඳතාවය ඇති වූයේ පස්වන කඩුල්ලටය.එය පන්දු 37 න් පැමිණි ලකුණු 57 කි.කවීශා ලකුණු 35 ක් ලබමින් ඊට දායක වූවාය.එහෙත් එහි හොඳම දායකත්වය පෙන්නුම් කළේ තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් පන්දු 33 දී ලකුණු 56 ක් ලැබූ නිලක්ෂිකා ද සිල්වාගෙන්ය.

සිය ජාත්‍යන්තර දිවියේ පන්දුවට පහර දෙන්නට ලැබුණු පළමු අවස්ථාව දෙව්මි විහංගා එක ලකුණකට සීමා කර ගනිමින් දැවී යාම ඇයගේ අත්දැකීම් මදකම විඳහා පෙන් වූ අවස්ථාවක් විය.ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි නිලක්ෂිට අවස්ථාව දෙමින් නොසිට ඇය ද දිගු පහරකට යාමට උත්සාහ කළාය.සැබවින්ම ඉතා දිගු පහරවල් සහිත ක්‍රීඩිකාවක වන දෙව්මි සිය පළමු අවස්ථාවේදී එම හැකියාව යටපත් කර කණ්ඩායම ගැන සිතුවානම් ඇය සම්බන්ධයෙන් එය වඩාත් පලදායී විදිහට බලන්නට හේතුවක් වනු ඇත.

එහෙත් දෙව්මිට නැති පළපුරුද්ද විසින් හොඳින් පිත්තට පන්දුව ගලා එන්න තණනිල්ලේ ක්‍රියාත්මක වූ අනුෂ්කා සංජීවනී (නොදැවී 23) සහ සුගන්ධිකා කුමාරි (නොදැවී 19) අටවන කඩුල්ලට නොබිඳි ලකුණු 40 ක සබඳතාවය් පැවත්වීය. ශ්‍රී ලංකාව මුහුණ දුන් 50 වන ඕවරයේ පළමු පන්දුවෙන් ඉන්දියාව ලබා ගත් ලකුණු 276 ඉක්මවා යමින් ශ්‍රී ලංකා ලකුණු පූවරුව 278 ක් කිරීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් සිය එක්දින තරග ඉතිහාසයේ වැඩිම දෙවන සාර්ථක හඹා යාම බවට පත් කළ ජයග්‍රහණයක් විය.ඹිට පෙර ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව 2024 දී පමණ හඹා ගොස් ජයග්‍රහණය සඳහා අවශ්‍යය ලකුණු 305 ක් රැස් කරන්නට සමත් වූවේය.ඉන්දීය පන්දු යවන්නන් අතරින් යළිත් සාර්ථක වූ ස්නේහ රානා ලකුණු 45 ට කඩුලු 3 ක් දවා ගන්නට සමත් වූවාය.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට දිනා ගන්නට චමරි අතපත්තු සමත් විය..එම තීරණය නිවැරදි බව හැඟුණේ ඉන්දීය ඉණිමේ පසු භාගයට වන්නටය.හොඳින් පිත්ත කරා පන්දුව පැමිණීම ශ්‍රී ලංකා පිළට තරගයේ දෙවන ඉණිමේදි වාසිදායක තත්ත්වයක් ඇති කළේය.ශ්‍රී ලංකාවේ නිලක්ෂි මෙන් ඉන්දියාවේ ක්‍රියාත්මක වූයේ රිචා ගෝස් ය.ඇය පන්දු 48 දී ලකුණු 58 ක් ලැබුවාය.රිචා වටා ගොනු වූ පසුපෙළ කඩුලු සඳහා එම ක්‍රීඩිකාවෝ යම් සාර්ථක සබඳතාවයන් පවත්වමින් ඉන්දියාව ලකුණු 275 දක්වා රැඟෙන ආහ.

පන්දුවෙන් වඩාත් කැපී පෙණුනේ චමරි ය.ඇය ලකුණු 43 ට කඩුලු 3 ක් දවා ගත්තාය.සුගන්ධිකා කුමාරි ද ලකුණු 44 ට කඩුලු 3 ක් දවා ගත්තේ ඇය ද මේ තරගයේ නිල නොලත් වීරවරියක බව පහදමින් අංක 9 පිතිකාරිණිය ලෙස පැමිණ කඩුල්ල රැකගෙන ලකුණු 19 ක් නොදැවි ලබා ගැනීම නිසාය.

රිචා ගෝස්ගේ ලකුණු 58 ඉන්දිය ලකුණු පූවරුව ගොඩ දමන්නට විශාල සේවයක් කළ බව ඇත්තකි.එහෙත් ඉන්දියාවට මෙතරම් අසීරු ලකුණු ප්‍රමාණයකට යාමට පාර කැපුණේ ජෙමීමා රොඩ්‍රිගෝස් ලකුණු නොලබා සිටියදී දුන් උඩ පන්දුව චමරි අතින් අනපේක්ෂිතව ගිලිහී යාමය.ඉනික්බිති ජෙමීමා ලකුණු 37 ක් රැස් කිරීමට වඩා දරුණු වූවේ හොඳින් පන්දුවට පහර දුන් රිචා සමඟ එක්ව පස්වන කඩුල්ලට වේගවත් ලකුණු 36 ක සබඳතාවයක් පැවත්වීමය.
තරගය සම්බන්ධයෙන් වැඩි දුරටත් අධ්‍යයනය කිරීම සඳහා පහත සබැඳියෙන් තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන්න.
https://bit.ly/3RLpLof

http://www.sportwaynews.com/



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here