මනුෂ්‍යත්වයේ ‘සැබෑ සතුරන්’ පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ පණිවිඩය යළි සිහිපත් කරන චීන විදේශ කටයුතු අමාත්‍ය – වාං යී මහතා, පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ චීනයේ දැක්ම ‘සියලු මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි මග ආලෝකවත් කරන ආලෝකයක්’ ලෙස හුවාදක්වයි.
ඔහු මේ බව පැවසුවේ මේ දින වල චීනයේ පැවැත්වෙන 14 වන ජාතික මහජන සම්මේලනයේ සිව්වැනි සැසිවාරයට සමගාමීව ඊයේ (මාර්තු 08) බෙයිජිං අගනුවර පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
චීනයේ විදේශ ප්‍රතිපත්තිය සහ විදේශ සබඳතා පිළිබඳව දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙසේද පැවසීය :
“ෂී ජින්පින් ජනාධිපතිවරයා ගේ පණිවිඩය පැහැදිලියි. අපගේ සතුරන් වන්නේ එකිනෙකා නොව යුද්ධය, දරිද්‍රතාවය, කුසගින්න සහ අයුක්තියයි. තනිතනිවම මෙම සතුරන්ව පරාජය කළ නොහැකියි. ඒ වෙනුවට, අප ලෝකය පෙළගස්වා පොදු අනාගතයක් ගොඩනඟා ගත යුතුයි… තනිව සිටියදී අසරණ වුවත්, එක්ව සිටියදී අපට දැඩි ශක්තියක් හිමිවෙයි. මේ දැක්ම ලොවපුරා ජනයා විසින් අවබෝධ කරගනිමින් සිටියි. එය මනුෂ්‍යත්වයේ ඉදිරි මග ආලෝකමත් කරන එළියකට සමාන,” යැයි වාං යී මහතා පවසයි.
තායිවානය, එදත්, අදත් හෙටත් චීනයේ කොටසක්
තායිවාන ගැටළුව පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ කටයුතු ඇමතිවරයා පැවසුවේ තායිවානය අතීතයේ පටන් චීනයේ කොටසක් ලෙස පැවති බවත්, එය කෙදිනකවත් වෙනත් රටක් නොවනු ඇති බවත්ය.
තායිවානය, චීනයෙන් බෙදා වෙන්කිරීමට දරණ සියලු ප්‍රයත්න අසාර්ථක වනු ඇති බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.
ඉරානය, සිදු නොවිය යුතුව තිබූ යුද්ධයක්
ඉරාන කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණය පිළිබඳව අදහස් දක්වමින් වාං යී මහතා පැවසුවේ මෙය, “කිසිදු පාර්ශවයකට වාසිදායක නොවන, සිදු නොවිය යුතුව තිබූ යුද්ධයක්,” බවයි.
මැද පෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වය වර්ධනය වීම වැළැක්වීමට යුද මෙහෙයුම් වහාම නැවතිය යුතු බවත් ඔහු පැවසීය.
බලාත්කාරය යනු ගැටළු විසඳීමට මාර්ගය නොවේ යැයි මැදපෙරදිග ඉතිහාසය යළිත් වරක් ලොවට පෙන්වාදෙන බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.
එ.ජා. භූමිකාව දුර්වල නොකර ශක්තිමත් කළ යුතුයි
චීනයේ විසින් යෝජනා කර ස්ථාපිත කර ඇති ගෝලීය පාලන මුලපිරීමේ (GGI) කාලෝචිතභාවය පිළිබඳව ද චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.
මෙම මුලපිරීමේ පැහැදිලිම පැහැදිලි සංඥාව වන්නේ එක්සත් ජාතීන්ගේ නායකත්වය අභියෝගයට ලක් නොකර ආරක්ෂා කළ යුතු බවත්, එහි කේන්ද්‍රීය භූමිකාව දුර්වල නොකර ශක්තිමත් කළ යුතු බවත්ය.
ඉන්දියාව හා ඇමෙරිකාව සමග සබඳතා
ඉන්දියාව හා වර්ධනය වන සබඳතා පිළිබඳව සතුට පළ කළ වාං යී මහතා යළිත් සිහිගැන්වූයේ දෙරට විසින් එකිනෙකාව තරගකරුවන් හා සතුරන් ලෙස නොව හවුල්කරුවන් ලෙස හඳුනාගෙන කටයුතු කළ යුතු බවයි.
මේ අතර, චීනය හා ඇමෙරිකාව අතර සබඳතා මුළු ලෝකයටම බලපාන බවද ඔහු පෙන්වා දුන්නේය.
දෙරට අතර සබඳතා පැවැත්වීමට අපොහොසත් වීම, වැරදි වටහා ගැනීම් වලට හේතුවී, ඉන් අනතුරුව ගැටුම් දක්වා වර්ධනය වී, සමස්ත ලෝකයටම බලපාන බව වාං මහතා පැහැදිලි කළේය.
ලොව ප්‍රධාන රටවල් දෙකක් වන චීනය හා ඇමරිකාව හට එකිනෙකාව වෙනස් කළ නොහැකි වුවත්, එකිනෙකා සමග කටයුතු කරන ආකාරය වෙනස්කරගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
“එනම්, අන්‍යෝන්‍ය ගෞරවය හා සාමකාමී සහජීවනය වන අවම මට්ටම රැකගනිමින්, දෙරටේ ජනතාවගේ අවශ්‍යතා සහ ජාත්‍යන්තර ප්‍රජාවේ අපේක්ෂාවන් සඳහා වන ජයග්‍රාහී සහයෝගීතාවයේ අපේක්ෂාව සඳහා උත්සාහයන් වල නිරත වීම,” යැයි ඔහු පැවසීය.
“ආධිපත්‍යයේ මාවත ප්‍රතික්ෂේප කරනවා”
තවද, චීනය විසින් ආධිපත්‍යයේ මාවත හා ගෝලීය පාලනය බලවත් රාජ්‍යයන් කිහිපයක් විසින් පවත්වාගෙන යා හැකිය යන අදහස ප්‍රතික්ෂේප කරන බවද වාං මහතා පැවසුවේය.
චීනය හා ඇමරිකාව යනු ලෝකයට ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි ප්‍රධාන රටවල් දෙකක් වුවත්, ලෝකයේ රටවල් 190කට වැඩි ප්‍රමාණයක් ඇති බව අමතක නොකළ යුතු බව අවධාරණය කළ වාං මහතා, මනුෂ්‍ය සංහතියේ අනාගතය ලියැවෙන්නේ සියලු රටවල උත්සහයන් තුළින් බවත් පෙන්වා දුන්නේය.
මේ අතර, බහු ධ්‍රැවීය ලෝකයක් ප්‍රවර්ධනය කිරීමේදී ගෝලීය දකුණ ප්‍රධාන ගාමක බලවේගයක් බවට පත්ව ඇති බව ද ඔහු පැවසීය.
වාර්තාව හා ඡායාරූපය – ශානිකා ජයසේකර (බෙයිජිං සිට)
📌 සබැඳි පුවත් :
Saru News
















