ආපදා සහන සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වෙයි

0
11


පසුගියදා ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් අද ( 05) දින විශේෂ ගුවන් යානයකින් මියන්මාරය බලා පිටත් වී තිබෙනවා .

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම ආපදා සහන සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

ඉතා කෙටි කාලයක් තුල ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මූලිකත්වයෙන් මෙම විශේෂ ආපදා සහන සේවා කණ්ඩායම් සූදානම් කිරීමට කටයුතු කිරීම විශේෂත්වයක්.

ථේරවාදී බුදු දහම නැවත අප රටේ ස්ථාපිත කිරීමට දායකත්වය ලබාදුන් ලෝකයේ ප්‍රධානතම බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරයට ආපදා සහන මානුෂීය සේවාවන්ට අමතරව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ මූලිකත්වයෙන්, දිවයින පුරා විසිර සිටින ශ්‍රී ලාංකික ජනතාව විසින් පරිත්‍යාග කරනු ලදුව එක්‍ රැස් කරනු ලැබූ වෛද්‍යාධාර ඇතුළු සහනාධාර තොගයක් ද, මෙම කණ්ඩායම සමඟ මියන්මාර රජය වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා .

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රමුඛ විදේශ කටයුතු  අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය මෙම මෙහෙයුම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු සිදු කිරීමට මූලිකත්වයෙන් කටයුතු කරනු ලැබූ අතර, මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම විසින් ද, මෙම මහගු කර්තව්‍යය වෙත සිය සහයෝගය දක්වා තිබෙන බවයි සඳහන් වන්නේ .

මෙම මානුෂීය මෙහෙයුම් ඔස්සේ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට මෙන්ම, හදිසි ආපදා තත්ත්වයකදී අපගේ මිත්‍ර පාර්ශ්වික රාජ්‍යයන් වෙත අවශ්‍ය සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ ආරක්‍ෂක අමාත්‍යාංශයේ හා ත්‍රිවිධ හමුදාවේ කැපවීම මනාව පිළිඹිබු කරනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here