හෙට ආදරවන්තයන්ගේ දිනය. ඉතින්, ඔයාගේ ආදරවන්තයා වෙනුවෙන් තෑග්ගක් තෝරගන්න බැරුව විස්සෝප වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයා, මේ ඔයාට මඟ ඇරෙන්නම නොයුතු ලියමනක්
සාමාන්‍යයෙන් අපි තෑග්ගක් දෙන්නේ ඒ දෙන කෙනාව ඒ තෑග්ග එක්ක උපරිම සතුටකට පත් කරන්නත් එක්කනේ. ඒ හින්දා ආදරවන්තයා ට විතරක් නෙවෙයි, ඕනෑම කෙනෙකුට තෑග්ගක් දෙනකොට තෑග්ග ලබන කෙනාගේ ආශාවන් ට මුල් තැන දෙන එක වැදගත්. හිතන්නකෝ මෙහෙම, ඔයාගේ පෙම්වතා පොත් කියවන්න පොඩ්ඩක්වත් කැමති කෙනෙක් නෙවෙයි.
“මං දුන්න නිසා ඒ පොත තියාගෙන ඒ පොත කියවන්න ..”
එහෙම බල කරලා එයා ට පොතක් තෑගි දෙන එක නම් එච්චර සුදුසු දෙයක් නෙවෙයි. බල කරලා දේවල් කරවගන්න තරම් අනවබෝධයෙන් නෙවෙයි නේ ඔයාලාගේ ආදර කතාව ගලන්නේ. ඒ නිසා අනෙක් කෙනාගේ පුරුදු, ආශාවන් එක්ක තෑග්ග ගලපන්න උත්සාහ කරන්න. පොත් කියවන කෙනෙක්ට නම් පොත්, කඳු නඟින කෙනෙක්ට නම් හයිකින් බෑග් එකක් , උයන කෙනෙක්ට නම් නවීන පන්නයේ ඉවුම් උපකරණයක් … මේ විදියට ඔයාට ඉතාම පුලුල් පරාසයක් දිගේ තෑගි ගැන හිතන්න පුළුවන්.
තෑග්ගක් තෝරන්න කලින් එයා ළඟ ඒ දෙන්න යන තෑග්ග තියෙනවා ද කියලා හොයලා බලන එක ඉතාම වැදගත්. හිතන්නකෝ ඔයා පොතක් තෑගි දෙන්න යනවා කියලා , එයා ළඟ ඒ පොතේ එක් මුද්‍රණයක් හරි තියෙනවා නම් එයාට ඒ තෑග්ග පලක් නැතුව යනවා. ඒ වගේම එයාට මේ දවස් වල අවශ්‍යම දේ මොකක්ද කියලාත් හොයලා බලන්න. එයා මිලදී ගන්න උත්සාහ කරන දෙයක් තියෙනවා නම් සමහරවිට එයාම ඔයා එක්ක ඒ ගැන කියලා ඇති.
තෑගි එක්ක ජීවන රටාවට තියෙන්නේත් හරි ගැලපීමක්. කවදාවත් කාර්යාලයීය පන්නෙට අඳින්නේ නැති ආදරවන්තයෙක් නම් ඔයාට ඉන්නේ එයාට ටයි පටියක් සහ ටයි පින් එකක් තෑගි දෙන එක සුදුසු නැහැ. පර්යේශණ වලට කැලෑ අස්සේ එහෙ මෙහෙ යන ආදරවන්තයෙක් ඔයාට ඉන්නවා නම්, ඝණ කබායක්, බූටිදෙකක් තරම් එයාට වටින තෑග්ගක් තවත් නැති වෙන්න පුළුවන්. කවදාහරි ඕනි වෙන්න පුළුවන් කියලා තෑගි දෙන්න පුළුවන් කාලයක් නෙවෙයි නේ මේ ගෙවෙන්නේ. ඒ නිසා ගැලපෙනම තෑග්ගක් දෙන එක තමයි වටින්නේ.
සමහරවිට ඔයාට හිතේවි එයා හරිම ආසයි මිලාධික වර්ගයේ නවීන පන්නයේ ජංගම දුරකථනයකට. මට එහෙම එකක් තෑගි දෙන්න සල්ලි නැහැනේ කියලා. එහෙම හිතන එක තෑග්ගක් තෝරනකොට කරන්නම අවශ්‍ය නැති දෙයක්. තෑග්ගක් කියන්නේ දෙන්නාගේම හිතේ සතුට හදන ටිප් එකක්. ඔයාට එයාව කොච්චරක් වටිනවද කියලා වචනෙන් නොකියා එයාට දනවන්න ඔයාගේ උත්සාහයක් . එහෙම වෙලාවක මූල්‍යම වටිනාකම කියන්නේ එක සාධකයක් විතරයි. ඉන් එහා ගියපු තව හැඟීම් ගොඩක් තෑග්ගක් වටේ තියෙනවා.
ලාබ බඩුවේ හිලක් ඇතේ කියලා කතාවක් අහලා තියෙනවා නේද ? ඒ නිසා ඕනෑම දෙයක් ගන්නකොට ඒකේ කල්පැවැත්ම, ගුණාත්මක බව ගැන නම් අනිවාර්යයෙන්ම සැලකිල්ලෙන් ඉන්න ඕනි. තෑග්ගක කල් පැවැත්මක් නැත්නම් සමහරවිට ඒ තෑග්ගේ වටිනාකම නැතිවම යනවනේ.
සමහරවිට ඔයා ට පුළුවන් එයා ළඟින් නිතරම තියාගන්න පුළුවන් දෙයක් එයාට තෑගි කරන්න. කාර් එකේ එල්ලන යමක්, ඔෆිස් එකේ මේසේ උඩ තියාගන්න පුළුවන් දෙයක්, කාමරේ එල්ලන්න පුළුවන් පොඩි වින්ඩ්චිම් එකක් වගේ දේවල් එයාගේ අවශ්‍යතා නොවුනත් ඔයාගේ ආදරේ එයාට දැනෙන්න තෝරන්න පුළුවන් තෑගි. එහෙම තෑගි වලට වැඩිපුර වියදම් යන්නෙ නැති නිසා ඔයාගේ ආර්ථික තත්වය කොහොම වුණත් ඔයාට එයා වෙනුවෙන් තෑග්ගක් තෝරන්න පුළුවන් කම ලැබෙනවා.
සමහර වෙලාවට ඔයා එයා ළඟින්ම ඉන්න බව දැනවෙන දෙයක් තෑග්ගක් විදියට තෝරන්න ඉඩක් තියෙනවා ඒකත් හරි ලස්සන දෙයක් වේවි. මෙතැනදීත් ඔයාගේ ආදරවන්තයාගේ කැමැත්ත ගැනත් හිතලා බලන්න අමතක කරන්නෙපා හැබැයි.
මේ අවුරුද්දේ ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් මතකයක් ඔයාගේ තෑග්ගට එකතු කරන්න උත්සාහ කරන්න පුළුවන් නේද ? ඒක ඔයාලා ජීවත් වෙනකල් හැමදාම මතක තියෙන දෙයක් වේවි. එයා නොහිතන තැනක පොඩි කෑම වේලක්, එයාගේ පවුලේ අය එක්ක එකතු වෙලාපොඩි චාරිකාවක් වගේ දෙයක් වුනත් තෑග්ගක් විදියට ඔයාට ඉස්සරහ කරගන්න පුළුවන් ඔන්න.
සමහරවිට ඔයා හෑන්ඩ්මේඩ් ක්‍රාෆ්ට් වලට දක්ශ ඇති. සමහරවිට ඔයා එහෙම කෙනෙක් නෙවෙයි වෙන්නත් පුළුවන්. හැබැයි අන්තර්ජාලය පීරලා බලනකොට ඒ වගේ තෑගි හදන විදි ඕනෑතරම් හොයගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දැන් ගොඩක් අමුද්‍රව්‍ය අන්තර්ජාලය හරහාම ඉතාම පහසුවෙන් ගෙන්නගන්නත් පුළුවන්. එතකොට ඔයා අතින් ආදරේ එක්කම හදපු තෑග්ගකින් එයාගේ හිත සතුටු කරන්නත් ඔයාට පුළුවන්.
මේ ගෙවෙන්නේ ඔයාලා හඳුනාගනිමින් ඉන්න කාලේ නම්, ඒත් එයාට තෑග්ගක් දෙන්නම හිත කියනවා නම් ඔයාට පුළුවන් එයාගේ යාලුවෙක් සම්බන්ධ කරගෙන තෑග්ග තෝරන්න. එහෙම නැත්නම්, මේ වෙද්දී ත් එයාගේ අක්කලා, අය්යලා, නංගිලා , මල්ලිලා එක්ක ඔයා කතා බහ කරනවා නම් ඒ අයගෙන් උදව්වක් ගන්නත් පුළුවන්. මතක තියාගන්න එකතු වෙලාදෙන තෑගි සමහර වෙලාවට හරිම ආදරණීය වෙනවා.
තෑග්ගක් තෝරලා මිලයට ගන්න තරමටම , ඒ තෑග්ග ඔයාගේ ආදරවන්තයා ට දෙන විදියත් වැදගත්. නිකම්ම බෑග් එකක දාලා දෙනවා වෙනුවට ඔයාටම ලස්සන රැපින් එකක් හදන්න පුළුවන්. එතකොට ඒ රැපින් එකත් ලස්සන තෑග්ගක් වෙනවා. ඒ වගේම එයාට තෑග්ග දෙන විදිය, දෙන තැන ගැනත් සැලකිලිමත් වුනොත් ඔයාගේ තෑග්ගට ත්ව වටිනාකම් එකතු කරගන්නත් පුළුවන්.
ඔන්න ඔය කාරණා ඔක්කොම ඔලුවේ තියාගෙන හෙට දවසට එයාට ගැලපෙනම , ඔයාගේ බජට් එකටත් ගැලපෙන තෑග්ගක් මිලයට ගන්න පුළුවන් වෙන්න කියලත් අපි ප්‍රාර්ථනා කරනවා.
| අපේක්ෂා ගුණරත්න |
Saru FM Media