ජාතික ජන බලවේගය ආණ්ඩුව අවංකව ගෙනයාමට අතිමහත් උත්සාහයක් දරන බව ප්රත්යක්ෂ කාරණයකි. එහෙත් ඔවුන්ට රාජ්‍යය ගෙන යෑමට සිදුව තිබෙන්නේ අතිශයින්ම අසාධාරණ කොන්දේසි රැසක් මධ්‍යයේය.
වත්මන් ආණ්ඩුවේ ජයග්‍රහණය යනු මුළුමනින්ම පාහේ මේ රටෙහි ප්‍රභූ තන්ත්රය විසින් මෙතෙක් ගෙනගිය පාලනය පෙරළා දැමූවකි. එය විප්ලවයක් නොවුණත් විප්ලවයකින් පසු ප්රතිවිප්ලවය එනවා සේ වර්තමාන ආණ්ඩුවට අභිමුඛ වී තිබෙන්නේ රාජ්‍යය යථාවත් කර ඉදිරියට ගෙන යාමට එරෙහි බාධා පැමිණවීම්ය.
එම බාධා ප්‍රභූ පන්තියෙන් සෘජුවම එල්ල වෙමින් තිබෙන අතර අනෙක් අතට එම පන්තියේ අන්තේවාසික කොටස් විසින් තැනින් තැන සිදුකරන ගරිල්ලා ප්‍රවර්ගයේ ප්‍රහාරයන්ද මෙහිදී දැක්ක හැකිය. රාජ්‍යයේ කටයුතු ගෙන යාමට එරෙහිව රටේ ඉහළම ආයතන පද්ධතිය තුළින් මතුවමින් තිබෙන බාධක යැයි පෙනෙන මුත් විනිශ්චය කළ නොහැකි මට්ටමේ බාධා කිරීම් පසෙකින් සිදුවන විට අනෙක් අතට ප්‍රභූ පන්තියේ දේශපාලන අවශ්‍යතා ඉෂ්ට කිරීමේ වගකීම බාරගෙන සිටින ආණ්ඩු විරෝධී යූ ටියුබ් බලකාය සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන ‘ආණ්ඩුවට නොහැකිය’ යන අදහස සමාජගත කිරීමට යත්න දරනු පෙනේ.
නීතිපතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන විවාදාපන්න තත්ත්වය රාජ්‍යය යථාවත්ව ගෙන යාම පිළිබඳ කාරණයට ඍජුව ගැට ගැසී තිබෙන අතර මීළඟ පියවරේදී එය ආණ්ඩුව ඉදිරියට ගෙන යාම පිළිබඳ ප්‍රශ්නයක් බවටද පත්විය හැකිය.එය සිදුවන්නේ කඩිනමින් අවසන් කළ හැකි බව කියන අපරාධ පිළිබඳ නඩු පැවරීමේ කටයුතු අනවශ්‍ය පරිදි කල්යාම මගින් එය ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට අහිතකර කාරණයක් ලෙස බලපාන්නට ඉඩ තිබෙන තත්ත්වය තුළය.
ජනවාරි 21 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවට එක් වූ සිවිල් සංවිධාන ඇතුළු පිරිස් නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ ප්‍රමාදය ගැන දැක්වූ විරෝධය හා අදහස් පළ කිරීම් ඉතා නිවැරදිය. ප්රශ්නය වන්නේ එම කටයුතු කඩිනම් කර ගැනීමට ආණ්ඩුවට හැකිවේද යන්නය. රාජ්‍යයේ කටයුතු යථාවත්ව ඉදිරියට ගෙනයාම පිළිබඳව එන්.පී.පී ආණ්ඩුවේ යාන්ත්රණයට එල්ල කෙරෙමින් තිබෙන බාධාව මැඩලිය හැක්කේ කෙසේද? ආණ්ඩු හිතවාදී ඇතැම් පිරිස් කියන්නේ නීතිපතිවරයා බාධකයක් නම් පාර්ලිමේන්තුවෙන් ගෙන එන දෝශාභියෝගයක් හරහා නීත්‍යානුකූල ක්‍රමවේදය පාවිච්චි කොට ඔහු තනතුරෙන් ඉවත් කළ යුතු බවය. එය කළ හැක්කේ නීතිපතිවරයාට එරෙහිව බලවත් විෂමාචාර චෝදනා එකක් හෝ කිහිපයක් ඔප්පු කිරීමෙන් පමණි. නඩු කටයුතු ප්‍රමාද කිරීම නිශ්චිතව ඔප්පු කළ හැකි විෂමාචාර චෝදනාවක් නොවන බැවින් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස පල කරන අදහස් අනුයමින් මේ මොහොතේ ආණ්ඩුවට ක්‍රියාත්මක විය නොහැකිය. හිටපු පොලිස්පති දේශබන්දුට එරෙහිව විෂමාචාර චෝදනා තිබුණු බැවින් නෙරපා හැරීම පහසුවෙන් කළ හැකි විය.
විධායක බලය සමග තුනෙන් දෙකකට අධික බහුතර පාර්ලිමේන්තු බලයක් ආණ්ඩුව සතු වුවත් පරිවේශනීය සාක්ෂි මත ක්‍රියාත්මක කරන ක්‍රමවේදයකින් මෙපිට පිළිතුරක් මේ ප්‍රශ්නයට නැත.
අනෙක් අතට විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කී කතාව මතකයට නගා ගත හැකිය. එකී තනතුරට සුදුසුකම් ඇති දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර නිලධාරින් දෙදෙනකු සහ බාහිර නිලධාරීන් දෙදෙනකු ජනාධිපතිවරයා විසින් යෝජනා කර යවන ලද නමුත් ඒ නම් සියල්ල ප්‍රතික්ෂේප වූ බව ඔහු කීවේය. එසේ වන්නේ රාජ්‍යයේ කටයුතුවලට සැලසුම් සහගතව කරන බාධාවක් නිසා දැයි යන ප්රශ්නය නගන්නට සිදුවෙයි. අනෙක් අතට එම තනතුරට ජනාධිපතිවරයාගේ හිතවතකු පත්කර ගැනීමේ ප්රයත්නයක් පිළිබඳ චෝදනාවක් නැගෙන නමුත් ජනාධිපතිවරයා විසින් නම්කර යවන ලද සුදුසුකම් ඇති අය පත් නොකළේ මන්ද යන්න පිළිබඳව ව්‍යස්ථා සභාව අදහසක් පළකර නැත. ව්‍යවස්ථා සභාව යනු එවැනි ප්‍රකාශයක් කරන ආයතනයක් නොවන නමුත් මේ පිළිබඳව සත්‍ය තත්ත්වය පොදු ජනයා දැන ගැනීම වැදගත්ය.
නැතහොත් සමාජගත වනු ඇත්තේ වර්තමාන ආණ්ඩුවත් ලැදියාවන් පෙරදැරිව වැඩ කරන බවය. නීතිපතිවරයා සම්බන්ධ ප්‍රශ්නයට පිළිතුර වන්නේ ශිරාණි බණ්ඩාරනායක ගෙදර යැවූ පිළිකුල් සහගත ක්‍රමයට ආණ්ඩුවක් ක්‍රියා කිරීම නොවේ. කාලය ගත කොට හෝ මජර දේශපාලන හා නිලධාරි සංස්කෘතියෙන් රටත් එහි ආයතන පද්ධතියත් මුදාගැනීමය. ප්රශ්නය වන්නේ ඒ සා හෙමින් ගමනකට රටේ පොදු ජනතාවට ඉවසුමක් තිබේද යන්නය.
රාජ්‍ය බලය
රාජ්‍ය බලය ලබා ගැනීම යනු රට තුළ Deep State තත්ත්වයක් ඇති කිරීම නොවේ. එනම් බුද්ධි හා මිලිටරිමය ව්‍යාපාරයකට යටි බිම් ගත අරුතකින් දේශපාලන නායකත්වය දීම නොවේ. මූලික වශයෙන් අත්‍යවශ්‍ය කටයුතු වලට බාධා නොකෙරෙන අනුමැතියක් රාජ්‍ය ආයතන පද්ධතිය තුළින් ආණ්ඩුවේ කටයුතු සඳහා ලැබීමය. කෘෂිකර්ම ඇමැතිවරයා කිවූ ආකාරයෙන් ප්රත්යක්ෂ වනුයේ ආණ්ඩුවේ ඇතැම් අත්‍යාවශ්‍ය වගකීම් ඉටු කිරීමට ආයතන පද්ධතිය තුළින් අවශ්‍ය සහයෝගය නොලැබෙන බවය.මේ තත්ත්වය ප්රතිවිප්ලවයේම කොටසක් ලෙස තේරුම් ගැනීමට සිදුවන අතර ජාතික ජන බලවේග ආණ්ඩුව උපරිම ජන අනුමැතියක් සහිත ආණ්ඩුවක් බැවින් ආයතන ගතව මතුවන ප්‍රශ්න වසර දෙක තුනක් ඇවෑමෙන් ජයගත හැකි බව සිතිය හැකිය. ජාතික ජන බලවේග ආණ්ඩුව ගමන් කරන්නේ ප්රජාතන්ත්රවාදයත්, නීතියේ පාලනයත්, මූල්‍ය විනිවිදභාවයත් පෙරටු කරගෙනය. එහෙත් මීට පෙර පැවති ආණ්ඩු රාජ්‍ය බලය අත්පත් කර ගත්තේ සහ එය ඉදිරියට ගෙන ගියේ තත්ත්වාකාරයෙන් බුද්ධි හා මිලිටරිමය ව්‍යාපාරයකට දේශපාලන නායකත්වය සපයමිණි.
Saru News










