අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කළ Lion’s Roar මෙහෙයුම

0
3

මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාවය තවත් උත්සන්න කරමින් අමෙරිකා එක්සත් ජනපදයේද සහයෝගය ඇතිව ඉරානයට එරෙහිව ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිපිරීම් 3ක් සිදුවී ඇති බවට ඉරාන මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මිසයිල ප්‍රහාර කිහිපයක් මෙලෙස එල්ලවී ඇති අතර ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනිගේ කාර්යාලය අසල ප්‍රදේශයටද මින් එක් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

කෙසේවෙතත් කමේනි ආරක්ෂිත ස්ථානයකට පිටත්කර හැර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඉරාන වේලාවෙන් සෙනසුරාදා අලුයම මෙම ප්‍රහාර මාලාව එල්ලවී ඇත.

එනම් එරට සතියේ වැඩකරන දින ආරම්භයත් සමග මෙම ප්‍රහාර එල්ලවීමද විශේෂත්වයකි.

සිය හමුදා විසින් ඉරානයට එරෙහිව ප්‍රහාරයක් එල්ලකළ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කාට්ස් විසින්ද තහවුරු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ඊශ්‍රායලය පුරා විශේෂ සහ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කර ඇති බවය.

ප්‍රතිප්‍රහාර එල්ලවීමේ අවධානම හේතුවෙන් ඊශ්‍රායල වේලාවෙන් අද (28) පෙරවරු 8ට පමණ එරට පුරා අනතුරු ඇඟවීමේ සයිරන් නලාද නාද වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ට්‍රම්ප්ගේ මැදිහත්වීම

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර සඳහා අමෙරිකාවද සම්බන්ධවූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉරානයට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කර ඇති බවය.

කෙසේවෙතත් ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිනයේ ප්‍රකාශ කර තිබුණි.

ප්‍රහාරයෙන් පසු ඉරානය

මෙම ගුවන් ප්‍රහාර එල්ලවීමත් සමග ඉරානය පුරා සන්නිවේදන ජාලයන්ට බලපෑම් එල්ලවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. 

ටෙහෙරානයේ නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවල ජංගම දුරකථන සේවා සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම එරට ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවට විශ්වාස කෙරෙන බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

සතුරා පුදුමයට පත් කිරීම

ඊශ්‍රායල හමුදා මෙම ප්‍රහාරය දහවල් කාලයේ එල්ල කිරීමට තීරණය කිරීම සතුරා පුදුමයට පත් කරවන්නක් බව විදෙස් වාර්තා සඳහන් කළේය.

සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රහාර වැඩි වශයෙන් එල්ලවන්නේ රාත්‍රී කාලයේදීය.

ඒ අනුව මෙම මෙහෙයුමේ පළමු අදියර දින 4ක් පුරා ක්‍රියාත්මක වෙනු ඇති බවද එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ප්‍රතිප්‍රහාර

ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ලකළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය ඊශ්‍රායලයටද මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක බළකාය (IDF) මීට සුළු වේලාවකට පෙර තහවුරු කළේය.

උතුරු ඊශ්‍රායලයේ පිපිරීම් හඬ කිහිපයක් ඇසී ඇති බවත් විදෙස් වාර්තා පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ද තහවුරු කර ඇත්තේ අදාළ  මිසයිල ප්‍රහාර ඉරානයේ සිට පැමිණි බව හඳුනාගත් බවය. කෙසේ නමුත් එම ප්‍රහාරයන් වැළැක්වීමට කටයුතු කළ බවත් ඔවුන් පවසා තිබේ.

එමෙන්ම එරට වැසියන්ට ඊශ්‍රායල ආරක්ෂක අංශ පූර්වාරක්ෂක නියෝගය අනුව කටයුතු කරන ලෙස දැනුම්දී ඇති අතර, වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙසටත් මහජනතාවට උපදෙස් දී ඇත.

ඉරානය සහ අමෙරිකාව අතර උණුසුම් වාතාවරණයක් ගොඩනැගෙමින් පවතින පසුබිමක ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ලකළ කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටෙහෙරාන් නුවර පිපිරීම් තුනක් සිදුවී ඇති බවය.

ජාත්‍යන්තරයේ ප්‍රතිචාර

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ඉරානයට එල්ලකළ ප්‍රහාර මාලාවෙන් පසු ඉරාකය සිය ගුවන් අවකාශය වසා දමා තිබේ.

ඒ අනුව ඉරාක සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් එරට ගුවන් සීමාව හරහා සියලුම ගුවන් ගමනාගමනය නිල වශයෙන් අත්හිටුවා ඇත.

ඉරාන අගනුවර දැවැන්ත පිපිරීම් 3ක් සිදු වූ වහාම එර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්ගමන් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කරන බවද එම අධිකාරිය නිවේදනය කළේය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here