අම්මාගේ නීතිවලට ආච්චීගෙන් නිදහස ලැබෙන එක දරුවාගේ සංවර්ධනයට බාධාවක්ද?

0
10


අද වෙද්දී තාත්තා වගේම අම්මාත් රැකියාවල නිරත වෙන නිසාම දරුවන් වෙනුවෙන් අම්මා තාත්තාගේ වගකීම්වලින් වැඩි කොටසක් ඉටු වෙන්නේ ආච්චී සියා අතින්. ඒ තමන්ගේ දරුවන් බාරදෙන්න අම්මට තාත්තට වඩා වැඩි කෙනෙක් දරුවන්ගේ දෙමාපියන්ට නැති නිසා. ආච්චි සීයා කියන්නේ දරුවන්ට පණ වගේ ආදරය කරන දෙන්නෙක්. ආච්චී සීයා එක්ක ඇති දැඩි වෙන දරුවෙකුට ලැබෙන සුන්දර අත්දැකීම්වල නම් නිමක් නැහැ. රසවත් කෑම බීම, කතාන්දර, පුංචි පුංචි සෙල්ලම්, අතීත ආවර්ජන එක්ක මැවෙන සුන්දර කතාබහ වගේ බොහොම ලස්සන කාලයක් ආච්චිලා සීයලා නිසා අපේ දරුවන්ට හිමි වෙනවා. ඇත්තටම දරුවෙක්ගේ මානසික සංවර්ධනට මේ අත්දැකීම් බොහෙවින් ඉවහල් වෙනවා. ඒත් ඇතැම් විට මේ කාර්යයේදී දෙමාපියන් සහ ආච්චි සීයා යන චරිත අතර යම් යම්  ගැටීම් ඇති වෙන්නත් බැරි නැහැ. අන්න ඒ නිසාම මේ ලිපිය ලියන්නේ අම්මලා තාත්තලාට වගේම හැකිනම් ආච්චිලා සීයලාටත් කියවලා දැනුවත් වෙන්න.

ඇතැම් දරුවන්ට හැසිරීමේ සන්නිවේදනයේ යම් යම් ගැටලු හට ගන්නා අවස්ථාවන් අපි ඕනෙ තරම් දැක තිබෙනවා. මෙන්න මේ අවස්ථාවලදී ඒ සඳහා උපදෙස් ගන්න දෙමාපියන් බොහෝ විට පවසන්නේ ”දරුවා ඉන්නේ ආච්චි සීයා එක්ක. ඒ නිසා ඔය දේවල් කරන එක ටිකක් අමාරුයි. මොකද එයාලා කැමති නැහැ දරුවන්ව වෙහෙස කරවන්න”… එහෙමත් නැත්නම් ආච්චි සීයා කියන්නේ ”අපි මේ ගැන අපේ දරුවන්ට නිතරම කියනවා. ඒත් එයාලා ගණනකට ගන්නේ නැහැනේ..” කියලයි. දෙපැත්තෙන්ම නැගෙන මෙන්න මේ වගේ පුංචි පුංචි චෝදනා එක්ක දරුවාගේ වැඩේ තමයි මගහැරෙන්නේ. ඒත් දරුවාට යම් පුහුණු කිරීමක් අවශ්‍ය නම් අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මේ තත්ත්වය වටහා ගෙන කටයුතු කිරීම හරිම වැදගත්. ඒක දරුවාගේ අනාගතයට ඉතා වැදගත් වෙනවා වගේම මතු දිනෙක යහපත් පුරවැසියෙක් ලෙස සාමාජයට පිවිසෙන්නත් දරුවෙක්ට බොහෝ සෙයින් වැදගත් වෙනවා.

මෙන්න මෙතැනදී දෙමාපියන් වගේම ආච්චිලා සීයලත් දැනුවත් විය යුතු කරුණු කිහිපයක්ම තියෙනවා. අපි ඒ ගන කතා කරමු.

දරුවෙක් දෙයක් ඉල්ලුවම ආච්චිලා සීයලාට නම් බලා ඉන්න පුරුද්දක් නෑ. දරුවා ඉල්ලන්නේ මොකක්ද ඒ සැනින් දරුවාට ඒක ලැබෙනවා. අම්මා තාත්තා මේ ගැන විරුද්ධත්වයක් පෑවත් දරුවා ඉල්ලපු දේ කරලා දීලා මිසක් ආච්චි සීයා නම් අහක බලන්නේ නෑ. ඒ ආච්චි සීයාගේ තියෙන ආදරයේ උපරිමය තමයි. එයාලා ඒක වැරැද්දක් විදිට හිතන්නේ නැහැ. මේක දරුවාට ලොකු සතුටක් වුණත් මේකෙන් සිදුවන ඍණාත්මක බලපෑම තමයි මට ඕනේ දේ ගන්න ආච්චිට සීයට කිව්වම හරි. මෙතැනදී දරුවෙක් ස්වාධීනව හිතන්න, ස්වාධීනව තීරණයක් ගන්න ස්වාධීනව ක්‍රියාකරන්න කටයුතු කරන්නේ නැහැ. අම්මයි තාත්තයි පනවපු සීමාවන් අබිබාවා යන්න ආච්චි සීයාගේ සහයෝගය ලැබෙන බවට දරුවා සිතනවා. ඒත් දරුවන්ගේ ආච්චි සීයා වශයෙන් මේ දෙය ගැන ඔබ සිතිය යුතුමයි. එසේ නොවුණහොත් දරුවා දිනෙක දෙමාපියන්ගෙන් නොලැබෙන නිදහස ආච්චි සීයාගෙන් ලබා ගන්න උත්සාහ කරනවා පමණක් නෙවෙයිදෙමාපියන් එක්ක එක විදිකටත් ආච්චි සීයා එක්ක තව විදියකටත් ජීවත් වෙන්න පුරු වෙනවා.

ආච්චි සීයා දෙන්නාගේ රසවත් කතා අහන්න පුංචි දරුවෝ කොහොමක් ආසයි. ඉතිං එයාලට එයාලගේ අම්මාගේ නැත්නම් තාත්තාගේ අතීත සිදුවීම කතා විදියට කියන්න ආච්චිට සීයට පුළුවන්. ”ඔයාගේ අම්මා පුංචි කාලේ…” කියලා ආච්චි කතාව පටන් ගනිද්දිම පොඩ්ඩෝ සේරම වැඩ නවත්තලා ඒ පැත්තට හැරෙන්නේ ඒ කතාබහට ඔවුන් ප්‍රිය නිසයි. ආච්චිට සීයට පුළුවන් මෙන්න මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන නොදැනුවත්වම යහපත් දේ දරුවාගේ සිත තුළට කාවද්දන්න. බැඳීම් ගැන අවබෝධ කරවන්න. දඟ වැඩ කළාම කියන දේ ඇහුවේ නැති වුණාම අම්මා තාත්තා විදියට ඔබ දුකට පත්වුණු ආකාරය හොඳ වැඩි කළාම අම්මා තාත්තා විදිට ඔබ සතුටු වුණු ආකාරය එකට සිනාසුණු හැටි අතීත මතක කතා ඔස්සේ දරුවාගේ හිතට ඇතුළු කරන්න ආච්චිට සීයාට පුළුවන්. ඒ හරහා තමන් එසේ හැසිරුණහොත් තමාගේ අම්මාටත් තාත්තාටත් දැනෙන්නේ එලෙසම බව දරුවා වටහා ගනිවී. ඒ වගේම දරුවාගේ අම්මාට තාත්තාටත් පුළුවන් මේ කතා බහට එක් වෙන්න. දරුවෝ විදිට එයාලා ඒ කාලේ හිතපු විදිය ගැන ආච්චි සීයා මුණුපුරෝ ඉස්සරහා සුන්දර කතාබහකට එකතු වෙන්න. 

වැඩිහිටියන් විදියට ඔබ කිසිම විටෙක දරුවන් ඉදිරියේ දෙමාපියන් විවේචනයට ලක් කරන්න එපා. ඒ කියන්නේ අම්මාගේ තාත්තාගේ වැරදි දරුවන් ඉදිරියේ පැවසීම කිසිසේත්ම සුදුසු නැහැ. යම් ගැටලුවක් තියෙනවා නම් දරුවන් නැති අවස්ථාවක ඒ ගැන ඔබට කතා කළ හැකියි. එසේ නොවුණහොත් දරුවා තුළ ඍණාත්මක ආකල්ප වර්ධන වීම වළක්වන්න බැහැ.

විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් අපේ නිවසේ සිටිනවා නම් අපි උත්සාහ කරන්නේ අඩු තරමේ යම් දවසක තමන්ගේ කටයුතු ටික හෝ කරගත හැකි අයුරින් දරුවා සංවර්ධනය කරන්නයි. මේ කාර්යයේදීත් ආච්චිලා සීයලාගේ සහයෝගය ඉතාම වැදගත් වෙනවා.

දරුවාට යම් සන්නිවේදනයේ ගැටලුවක් ඇත්නම් නිවස තුළ දරුවාට සන්නිවේදනය සඳහා අවස්ථාව හිමිවිය යුතුමයි. උදාහරණක් විදියට දරුවාගේ ආහාර වේල් ගත්තොත් නියම වෙලාවට ඒවා ළඟට දීමට වඩා දරුවාට ඒක ඉල්ලා ගැනීමට අවස්ථාවක් ලබාදීම හරිම වැදගත්. අපි හරි වෙලාවටම දරුවාට මේ දේවල් ලබාදීම තුළින් දරුවාට කුසගින්න දැනීමටත් ඒ පිළිබඳව අපෙන් විමසන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතැනදී දරුවට අහිමි වෙන්නේ සන්නිවේදනයට ඇති අවස්ථාවක්. මෙන්න මෙතැනදි ආච්චිලා සීයලාට ලොකු වගකීමක් පැවරෙනවා. ඔබට හිතෙන්න පුළුවන් ”අනේ හරියට ඔනේ දේ එපා දේ කියාගන්නවත් බැරි නොදරුවා..බඩගිනි වෙලා කෑගහනකන් ඉන්න ඕනෙද කන්න ටික දෙන්න” කියලා. ඇත්ත, ඔබේ සිතේ දරුවා කෙරෙහි ඇති අසීමිත ආදරය එක්ක ඔබ දරුවාව වෙහෙසට, පීඩාවට පත්කරන්න කිසිසේත්ම කැමති නැහැ. ඒත් වැඩිහිටි අපි මොලොව නැති දවසක දරුවා තනිව ජීවත් වීමට හුරුකර වීම අපේ යුතුකමක් නිසාම අකමැත්තෙන් හෝ මෙවැනි අවස්ථාවකදී ඔබට ලැබෙන වෛද්‍ය උපදෙස් මත ක්‍රියාත්මක වීම වැදගත් බව සිහි තබාගන්න.

යම් දරුවෙක්ගේ හැසිරීමේ ගැටලු තියෙනවා නම් ලැබෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වීම බොහොම වටිනවා. උදාහරණයක් විදියට ”අ අ අ” කියලා දරුවෙක් යමක් ඉල්ලුවම ඒ දේ ලබාදීම සුදුසු නැහැ. මොකද අපට අවශ්‍ය වෙන්නේ දරුවාගෙන් වචනයක් ගැනීමට නිසා ඒ වෙනුවෙන් දරුවාට අපි අවස්ථාව ලබාදීම හෝ යොමු කරවීම සිදුකළ යුතුමයි. මෙන්න මේ තත්ත්වයේදී බොහෝ ආච්චිලා සීයලා ඔවුන් දරුවාට ඇති ආදරය නිසාම, දරුවා වෙහෙසට පත්කරවන්න ඇති අකමැත්ත නිසාම දරුවා ඉල්ලන දේ ඉක්මනින් ලබා දෙනවා. ඒත් ඔබ ඒ කරන්නේ දරුවාගේ ආබාධය නිවැරදි කරගැනීමට සහයෝගය දැක්වීමක් නොවන බව වටහා ගත් යුතුයි. එසේ නොකළ හොත් ”මම කතා නොකරොත් මේ දේ ලැබෙන්නේ නෑ” යන පණිවිඩය දරුවාට වැටහෙන නිසා වචනයක් පිටකිරීමට යම් උත්සාහයක් දැරීමට දරුවා පෙළඹෙනවා. ඒ වගේම තමයි අඬලා දේවල් ලබාගන්න උත්සාහ කරන දරුවෝ. හැඬීමෙන් තමාට අවශ්‍ය සියල්ල ලබාගත හැකි බව ඔවුන් දන්නවා. අපි දරුවාගේ තත්ත්වය අවබෝධ කර නොගෙන කටයුතු කිරීම දරුවාගේ සංවර්ධනයට විශාල බාධාවක් බව වටහා ගත යුතුයි. 

දරුවන්ගේ දරුවන් වෙනුවෙන් දෙමාපියන්ගෙන් ඉටුවන මෙහෙය අපිරිමිතයි. අද වන විට පවතින ආර්ථක දුෂ්කරතා හේතුවෙන් නිවසක එක් අයෙකු පමණක් රැකියාවක නිරත වීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මාසිකව ලැබෙන මුදලින් දරුවන් දෙදෙනෙකු දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත ඇතුළත් කිරීමට හැකියාවකුත් නැහැ. මෙවැනි වටපිටාවක තමන්ගේ දරුවන් තමන්ගේ දෙමාපිය සෙවණේ තියා නිවසින් පිටවන්නට ලැබීම තරම් භාග්‍යයක් අම්මා කෙනෙකුට තවත් නැහැ. තමන්ටත් වඩා හොඳින් තමන්නේ දරුවන් රැක බලාගන්නා බවට ඇති විශ්වාසය මිල කළ නොහැකියි. අන්න ඒ වටිනාකම නිසාත් දරුවන්ට ආච්චි සීයා ඇසුරේ වැඩෙන්නට ඇති අවස්ථාව නිසාත් සැවොම අවබෝධයෙන් කටුයුතු කිරීම වඩා වැදගත් වේ. යම් සංවර්ධනයක් අවශ්‍ය දරුවන් සායන වෙත රැගෙන ඒමේදී ඔවුන් රැක බලාගන්නේ අච්චී සීයා නම් ඒ සායන සඳහා ඔවුන් ද කැටුව ඒමට අපි අවස්ථාව ලබාදෙන්නේ ඒ නිසයි.

 

 

කථන සහ භාෂා ව්‍යාදිවේදී ආචාර්ය නිමීර වීරරත්න මහතා

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here