හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා අමානුෂික අන්දමින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් අද (11) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
2023 වසරේ සිට වසර දෙකහමාරකට අධික කාලයක් අඛණ්ඩව විභාග වූ මෙම නඩුවේ තීන්දුව සහන් මාපා බණ්ඩාර (සභාපති විනිසුරු), රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් අද පෙරවරුවේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
අරගලය පැවැති ඉකුත් 2022 වසරේ මැයි 9 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල හා ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන, මන්ත්‍රිවරයාගේ මෝටර් රථයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගි වී ආපසු පොළොන්නරුවේ සිය නිවස බලා යමින් සිටියදී නිට්ටඹුව නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් විසින් අමානුෂික අන්දමින් පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කර තිබිණි.
එම ම්ලේච්ඡ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික නඩු කටයුතුවලින් අනතුරුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත්කර තිබිණි.
අධි චෝදනා 14ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 41 දෙනකුට එරෙහිව මෙම නඩුව පවරා තිබූ අතර එම විත්තිකරුවන්ගෙන් 13 වැනි සහ 31 වැනි විත්තිකරුවන් නඩු විභාගය අතරදී මියගොස් තිබූ අතර, 39 වැනි සහ 40 වැනි විත්තිකරුවන් අධිකරණය මඟහැර පළාගොස් ඇති අතර ඔවුන් නොමැතිව නඩුව විභාග කෙරිණි.
මෙම නඩු තීන්දුව සඳහා 2026 ජනවාරි 14 වැනිදා කැඳවූ අවස්ථාවේදී දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් 37 දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයාගේ ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම විනිසුරු මඬුල්ල විසින් අද දිනට කල් තැබිණි.
Saru News










