අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් අපි එය අවසන් කරනවා – අමෙරිකානු ආරක්ෂක ලේකම්

0
3

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝගය මත ක්‍රියාත්මක වන මෙම යුද මෙහෙයුම ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික සහ සංකීර්ණතම ගුවන් මෙහෙයුම වන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන අමෙරිකානු හමුදා මෙහෙයුම් පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ අද (02) පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු අවධාරණය කළේ, වසර 47ක ඉරාන සටන්කාමීත්වයට ජනාධිපති ට්‍රම්ප් විසින් තිත තබා ඇති බවය.

“අපි යුද්ධය ආරම්භ කළේ නැහැ, නමුත් ජනාධිපති ට්‍රම්ප් යටතේ අපි එය අවසන් කරනවා,” යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කළේය.

ඉරානය වැනි රටවල ඇති පාලනයන් සතුව න්‍යෂ්ටික අවි නොතිබිය යුතු බවත්, එය වැළැක්වීමට අවශ්‍ය ශක්තිය ජනාධිපති ට්‍රම්ප් සතු බවත් හෙග්සෙත් සඳහන් කළේය.

පසුගිය වසරේ ක්‍රියාත්මක වූ ‘ඔපරේෂන් මිඩ්නයිට් හැමර්’ (Operation Midnight Hammer) මගින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කළ බව ඔහු එහිදී පැවසීය.

මෙම ප්‍රහාරය හුදෙක් පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ යුද්ධයක් නොවන බවත්, ටෙහෙරානයේ මිසයිල සහ අනෙකුත් ආරක්ෂක යටිතල පහසුකම් විනාශ කිරීම මෙහි අරමුණ බවත් ඔහු පැවසූ බව විදෙස් මාධ්‍ය පවසයි.

එහිදී ඔහු සහතික වී ඇත්තේ මෙය අවසානයක් නොමැති යුද්ධයක් කරා යොමු නොවන බවටය.

එමෙන්ම ඔහු අනතුරු අඟවමින් පවසා ඇත්තේ අමෙරිකානුවන්ට තර්ජනයක් වන ඕනෑම අයෙකු කිසිදු පැකිලීමකින් තොරව හඹා ගොස් දඬුවම් කරන බවටය.

“මෙම අවස්ථාවේදී බුද්ධිමත්ව තීරණ ගන්න” යනුවෙන් අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් ඉරාන ආරක්ෂක අංශ වෙත ද ප්‍රකාශ කළ බව සඳහන් වේ.

ආරක්ෂක ලේකම්වරයා මෙහෙයුම් අතරතුර මියගිය අමෙරිකානු හමුදා භටයන් ද එහිදී සිහිකළ බව විදෙස් මාධය පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ඉල්ලා ඇත්තේ, ඉරාන වැසියන්ටද මෙම ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙසටය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here