අඳුරට ඇදී ගොස් මියැදුණ තරුණයා

0
12


අඳුරට බියපත් තරුණයෙක් අඳුරේම ගිලිලා මියැදුණු පුවතක් ගැන තමයි අද අපි ඔබට කියන්නේ . 

ශෝන් රොසිග්ටන්, 21 වියැති තරුණයෙක්. කෙවින් සහ ශැරෝන් යුවලගේ බාල පුතණුවන් වුන ශෝන්ට වැඩිමහල් සොයුරෙක් හිටියා. ඔහු විවාහ වෙලා තමන්ගේ බිරිඳ සමඟින්ම නිවසින් පිට වෙනමම ජීවත් වුණේ. ඒ නිසාම ශෝන් රොසිග්ටන් ඔහුගේ අම්මයි , තාත්තායි එක්ක ඔවුන්ගෙර් නිවසේ ජීවත් වුණා.

ශෝන් 21 වියැති  තරුණයෙක් වුණත්, අන්ධකාරයට බියපත් බවක් පෙන්වන ඇස්පර්ගස් සින්ඩ්‍රෝමය ඔහුටත් තිබුණා. ඒ නිසාම ඔහු රාත්‍රී කාලයේ නිවසින් පිටතට නොයන්නට වග බලා ගත්තේ. එලෙස නිවසින් පිටතට යෑමට අවශ්‍ය වුණ වෙලාවට ඔහු සමඟ කෙවින් හරි ශෙරෝන් හරි වැඩිමහල් සොයුරා වුණ ක්‍රිස් හරි අනිවාර්යයෙන්ම හිටියා.  ඔහු මේ සින්ඩ්‍රෝමය තුළ කෙතරම් ගොදුරක් වෙලා තිබුණද කියනවා නම්, ශෝන් රෑට නිදාගත්තේ පවා විදුලි බල්බයක් දාගෙන. 

ශෝන් නිතරම ආලෝකය ඇති තැන්වල ඉන්නත් ප්‍රිය කලා. ඒ සින්ඩ්‍රෝමය නිසාම ඔහු වයසට තරමේ වන මානසික වර්ධනයක් පෙන්වූයේත් නැහැ. ඒත් ඒ බාධාව නොසලකමින් ශොන්ව ජීවිතේ ඉස්සරහට රැගෙන යන්න රොසිග්ටන් යුවල කටයුතු කලා.

2010 ජුනි දෙවෙනිදා හවස හයට විතට ශෝන් කාමරයට ගියේ නින්දට යන වග පවසලා. ඒත් ශෝන්ගේ හිතේ වෙනම සැලසුමක් තිබුණා.  අඳුර ට තිබුණ බියපත් බව පවා පසෙකට දාලා ශෝන් නිවසින් පිටතට යන්න තීරණය කරලා තිබුණේ දහතුන් වියැති මිතුරියකගේ ඉල්ලීම මත ඇයව හමුවෙන්න.  

“ඔයා ළඟ තියෙනවා මගේ ඩොලර් 100ක්.. ඒක මට ඕනි… කරුණාකරල එන්න…”

මිතුරියගේ චෝදනාවෙන් නිදොස් වෙන්න තිබුණ උවමනාව නිසාම ශෝන් පිටත් වුණා. ඔහුට අවශ්‍ය වුණෙ එය එසේ නොවන වග පවසා ඇය හා මිතුරු වෙන්න.  ඔහු නිවසින් පිටතට එනකොට පරිසරය අඳුර දිහාවට ඇදෙමින් තිබුණේ. ඒ නිසා ශෝන් අඩිය ඉක්මනින් ගමන් කලා. ගෙවල් සීමාවේ තියෙන විශාල තණ බිම පහු කරලා සර්බයි වීදියට එන්න ශෝන්ට විනාඩි කිහිපයක් ගත වුණා. 

ඒත් වැඩි දුර ඉස්සරහට යන්න ශෝන්ට ඉඩ ලැබුනේ නැහැ. එකපාරටම කඩා පැනපු කල්ලියක් ඔහුව වටකරගත්තා. ඔවුන් හිතාගෙන හිටියේ ශෝන්ගේ අතේ ඩොලර් සීයක් ඇති කියලා. විසි එක් වියැති මිනිසෙක් වූ නිසා ඔහු මුදල් රැගෙන ඒවි කියලායි ඔවුන් සිතුවා. 

කෙතරම් ඉල්ලා සිටියත් තමා වටකරගත් කල්ලියට ලබා දෙන්න මුදල් තමා සතුව නැති බව ශෝන් දැනගෙන හිටියා. ඒ නිසාම ශෝන් උත්සාහ කලේ තමන්ට මුණ ගැහෙන්න අවශ්‍ය වුණ ගැහැණු ළමයාව හොයාගන්න. ඒත් ඔහුව වට කරගත්තු කල්ලියෙන් ඔහුට ගැලවීමක් තිබුණේ නැහැ. අඳුර වැටෙනවාත් එක්ක බියට පත් වෙමින් උන්න ශෝන්ට ඔවුන් වට කරගෙන පහර දුන්නා.  අඩි හයක් උස ශෝන්ව බිමටම පෙරළ ගෙන උදරයට, හිසට තුවාල වන තරමින් පහර දෙන්නට  තරම් මේ  කල්ලිය අමානුෂික වුණා. හිසට තුවාල ව තරමේ පහරදීම් වලින් පස්සේ ඔවුන් ශෝන්ව එහෙමම අතෑරලා දැම්මා. 

ශෝන් ළඟ මුදල් නොතිබුණ නිසා ඒ වෙනුවට ශෝන් ළඟ තිබුන සිගරැට්ටුවක් රැගෙන ඔවුන් එතැනින් ගියා.

ශෝන්ගේ දෙමාපියන් පසුදින උදෑසන ශෝන්ගේ කාමරයට එබුණේ ඔහු තේ මේසයට නොපැමිණි නිසා. ඒත් ශෝන් කාමරයේ හිටියේ නැහැ. දහවලක වුනත්, ශෝන් නිවසින් පිටතට යන්නට පෙර ඒ ගැන තමන්ට පවසන නිසාම ශෝන්ගේ දෙමාපියන් කලබලයට පත් වුණා. කලබලය සඟවාගෙන ඔවුන් අවට අසල්වැසි නිවෙස් වලට ඇවිද යමින් ශෝන් පැමිණ ඇතිදැයි සෙව්වා. ඒත් සියල්ලෝම කීවේ එකම දෙයක්.

“ශෝන් ආවේ නැහැනේ…”

ශෝන්ව බියපත් කර ඩොලර් සීයක් ලබා ගැනිමෙ අරමුණින් ඔහුව සර්බයි වීදියට ගෙන්වා ගත් ගැහැණු ළමයා ඇතුළු කල්ලිය එතැනට එන්නට මද වේලාවක් ප්‍රමාද වුණා. ඒ පැමිණෙන විට ශෝන් මියගොස් වග දැනගත්  ඔවුන් කලබල වුණා.

“අපි ශෝන්ගෙන් ඩොලර් සීයක් ඉල්ලපු කතාව කවුරු හරි අහගෙන ඉන්න ඇති…. ඒගොල්ලෝ සල්ලි අරගෙන  ශෝන්ව මරන්න ඇති…”

පිරිසේ කෙනෙක් කිව්වා. කවුරුන් අපරාධය සිදුකළත් තමන් මේ සඳහා ගෑවෙන්න ඉඩ ඇති බව ඔවුන් වටහා ගත්තා. ඔවුන් ඒ අවස්ථාවේ වාසිය ගන්නට තීරණය කලා. 

“මිය ගිය අයෙක් පාරේ වැටී සිටිනවා…”

ඔවුන් 999 පොලිස් හදිසි ඇමතුම් අංකය ඇමතුවා. කිසිත් නොදන්නා සේ, නන්නාඳුනන සේ , ශෝන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුරට තනි රැක්කා. 

ශෝන්ගේ සිගරැට්ටුව ගැන ඔහුගේ පියාගේ කට උත්තරේ සඳහන් වුණා. 

“ශෝන්ගේ කාමරේ තිබුණ සිගරැට් එක තිබුනේ නැහැ. ඔහු නොසන්සුන් වුනහම ඒ වර්ගයේ සිගරැට් භාවිතා කරනවා. …”

පොලිස් කණ්ඩායම් ප්‍රදේශය පුරා ආරක්ෂිත කැමරා පරීක්ශා කලා. පොලිස් සුනඛයන්ගේ සහාය ලබා ගත්තා. අවසානයේදී ශෝන්ට පහරදුන් කල්ලිය කොටු වුණා. ඉන් කෙනෙකුගේ නිවසේ මිදුලේ තිබී ශෝන්ගේ සිගරැට්ටුවේ  කොටසක් හමු වුණා.

ඒ කොහොම වුනත්, ඔවුන්   උසාවිය හමුවේ කියා උන්නේ තමන් නිවැරදි බව. වරද සිදු කලේ ශෝන් බව.

“අවුරුදු විසි එකක තරුණයෙක්, අවුරුදු දහ තුනක දැරියක් මුණ ගැහෙන්න ආවේ මොකටද? අපි හිතුවේ ඔහු යම් නොහොඹිනා කමක් වෙනුවෙන් උත්සාහ කරන බව…”

ඒ වනවිටත් පොලිසිය ශෝන්ගේ ජංගම දුරකතනය හරහා ඔහුව බ්ලැක්මේල් කරපු ගැහැණු ළමයා සහ පිරිසත් හඳුනාගෙන තිබුණේ. ඒ වගේම පොලිසියට ඇමතුම ලබා දුන්නේ ඔවුන් බවත් හෙලිදරවු වෙලා තිබුණේ. ඒ නිසාම  අපරාධකරුවන් සිද්දීන් දෙකම එකට හා කරන්නට උත්සාහ කලා. 

අපරාධකරුවන් කෙතරම් උත්සාහ කලත් ,පොලිස් සාක්ශි ඉක්මවා යන්නට ඔවුන්ට ඉඩ ලැබුනේම නැහැ.

“ශෝන් ට ඒ අවුරුදු දහ තුනක ගැහැණු ළමයෙක් නෙවෙයි .. ඔහුට හිතවත් කම පෙන්වන්නට උත්සාහ කල අයෙක් පමණයි….”

ශෝන්ගේ  දෙමාපියන් විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තා ද පෙන්වමින් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කලා.

අපරාධකරුවන් ශෝන්ගේ දුර්වලතා පිළිබඳව දැන නොසිටීම ඔවුන්ගේ අපරාධයේ බරපතල කම අඩුවීමට හේතුවක් නොවන වගට අධිකරණය  තීරණය කලා.

“ශෝන්ව මරා දැමුවේ මිතුරන් ඔහුට ද්‍රෝහී වූ නිසා. අඳුර ගැනවත් නොසිතා ඔහු ඔවුන් මුණ ගැසෙන්නට යන්නට ඇත්තේ මරණය බලාපොරොත්තුවෙන් නෙවෙයි ..”

ශෝන්ගේ අම්මා එහෙම කියනවා.

ශෝන්ව කුරිරු විදියට ඝාතනය වෙලා ටික දවසකින් ශෝන්ගේ අය්යා වුණ ක්‍රිස්ගේ බිරිඳට ඔවුන්ගේ කුළුඳුල් දරු ප්‍රසූතිය සිදු වුණා. කුඩා  “ජැක් ශෝන්” පවුලට යළි ජීවත් වීමට තරම් හේතුවක් ගෙන එමින් ඉපදුණේ සියලු දෙනාටම යම් අස්වැසිල්ලක් ගෙන එමින්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here