Tuesday, May 6, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් අධිකරණයේ ෆෝන් එක රින්ග් වුණ වරදට ඇතුළට ගිය අසංක බන්ධනාගාරයේදී මරාදාලා

අධිකරණයේ ෆෝන් එක රින්ග් වුණ වරදට ඇතුළට ගිය අසංක බන්ධනාගාරයේදී මරාදාලා

0
4


asanka-who-went-inside-the-prison-because-his-phone-rang-in-court-was-killed-in-prison

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේදී රැඳවියකු මියයෑම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. ඇඹිලිපිටිය නව නගරයේ අංක 27 නිවෙසේ පදිංචි ජයසේකර ආරච්චිගේ අසංක ඉදුනිල් (46) නම් පුද්ගලයා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියකු ලෙස සිටියදී රෝගී තත්ත්වයකට පත්ව මිය ගොස් ඇති බව වාර්තා වේ.

අංක 1664 යටතේ මෙම රැඳවියා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරගත කරන ලද්දේ වෙනත් පුද්ගලයකුට රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් ඇප තැබීම සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවේදී අධිකරණය තුළදී ඔහුගේ ජංගම දුරකථනය නාද වීම සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය විසින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බව ඥාතීන් පවසයි.


බන්ධනාගාරගතව සිටියදී හදිසි අසනීප තත්ත්වයක් නිසා ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබූ අතර, බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටියදී පසුගිය මැයි 02 වැනිදා මිය ගොස් ඇතැයි ඥාතීහු සඳහන් කරති.
අඟුණුකොළපැලැස්ස පොලිසිය විසින් අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට පසුගිය 3 වැනිදා B 13875/25 යටතේ මේ සම්බන්ධව කරුණු වාර්තා කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රසන්න සෙල්ලහේවා මහතා විසින් සිදු කර ඇත.
මරණ පරීක්ෂණයේදී හෙළිවූ කරුණු අනුව, මොට පුස්ථයකින් හිසට සිදුවූ හානි සහ මොළයට හානි වීම හා පපුවේ වම්පස ඉළ ඇටවලට සිදුවූ හානි හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර ලේ වහනය මරණයට හේතුව බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිගමනය කර ඇත.
මියගිය අසංක ඉදුනිල්ගේ දේහය ඇඹිලිපිටිය නව නගරයේ ලංකා බැංකුව අසල පිහිටි ඔහුගේ පුංචි අම්මාගේ නිවෙසේ මැයි 04 වැනිදා තැන්පත් කරනු ලැබූ අතර, අවසන් කටයුතු ඇඹිලිපිටිය නව නගරයේ පොදු සුසාන භූමියේදී මැයි 05 වැනිදා සවස සිදු කිරීමට නියමිතව තිබිණි.


මියගිය අයගේ පවුලේ ඥාතීන් පවසන්නේ මෙම මරණය සැක සහිත බවත්, අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර මරණයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතින අතර, මරණය පිළිබඳ සැක සහගත තත්ත්වයන් මත පදනම්ව පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා සිටින මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විශේෂ අවධානය යොමු කොට ඇතැයි වාර්තා වේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here