අධික තරබාරුව නිසා ඇතිවන රෝග ගැන දැනුවත් වෙමු

0
14


ඇඟේ මහත වැඩිවෙන එක කියන්නෙ අද කාලෙ අපි හුඟ දෙනෙකුට තියෙන ගැටළුවක්. ඒ මහත අඩුකරගන්න අපි ඩයට්, එක්සර්සයිස් වගේම විවිධ බෙහෙත්, පාන වර්ග එහෙමත් භාවිතා කාරණාව. හැබැයි එහෙම මහත අඩුකරගන්න උත්සාහ කරන බහුතරයකගෙන් ඇහුවොත් ඇයි ඔවුන් මේ මහත ගැන මේ තරම්ම වදවෙන්නෙ කියල හුඟ දෙනෙක් උත්තර දේවි ශරීරය මහතට පේනකොට තියෙන අවලස්සන අඩුකරගන්නයි මේ උත්සාහ කරන්නෙ කියල. හැබැයි මේ හුඟක් දෙනෙක් නොදන්නවා උනාට පිටට පේන අවලස්සන කියන්නෙ ඇත්තටම ස්ථුලභාවයේ තියෙන්න පුළුවන් අඩුම හානියක් සහිත ප්‍රතිඵලය කිව්වත් වැරදි නැහැ. අධික මහත එහෙමත් නැත්තම් ස්ථුලතාවය නිසා ඇතිවෙන්න පුළුවන් විවධ රෝගාබාධ ඊට වඩා ගොඩාක් භයානකයි. ඉතින් අපි අද හිතුවා ස්ථුලතාවය නිසා ඇතිවෙන රෝග ගැන ඔබව දැනුවත් කරන්න.

ඔන්න මේ රෝග ගැන කියවල නිකන් ඉන්න එපා. අපි මීට කළින් ලියපු ඩයට් ගැන වගේම BMI ගැනත් ලිපි තියෙනවා අපේ Lifie.lk වෙබ් අඩවියේ. ඒ ඔක්කොම කියවල මහත අඩුකරගෙන නිරෝගී ජිවිතයක් ගතකරන්න හැමවෙලාවෙම උත්සාහ කරන්න.

 

BMI – Body Mass Index හෙවත් ශරීර ස්කන්ධ දර්ශකය ගැන හරියටම දැනගමු

ඩයටින් කරන්න කලින් මේ දේවල් ගැන හිතලම පටන් ගත්තොත් වැඩේ වඩා සාර්ථක වෙයි!

 

1. කොලෙස්ටරෝල්

අධික ස්ථුලභාවය නිසා ශරීරයේ කොලස්ටරෝල් පාලනය කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. HDL හෙවත් යහපත් කොලෙස්ටරෝල් සහ LDL හෙවත් අයහපත් කොලෙස්ටරෝල් විදිහට වර්ග දෙකක් අපේ ශරීරයේ නිපදවෙනවා. HDL වලින් අපේ ශරීරයේ අතිරික්ත කොලෙස්ටරෝල් ඉවත් කිරීම සිදුවෙනවා. හැබැයි LDL කියන්නෙ ධමනි වල තැන්පත්වෙන නරක කොලෙස්ටරෝල් වර්ගයක්. ස්ථුලභාවය මඟින් අපේ අක්මාව මඟින් නිෂ්පාදනය කරන LDL ප්‍රමාණය ඉහළ නංවනවා. ඒ මඟින් ශරීරයේ පවතින LDL ප්‍රමාණය ඉහළ යනව වගේම ධමනි අවහිරවීම මඟින් හෘදයාබාධ ඇතිවීමේ අවදානමත් ඉහළ නංවනවා. 

 

 

2. අධි රුධිර පීඩනය

අධි රුධිර පීඩනය කියන්නෙ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ බලයක් යොදවමින් රුධිර නාල හරහා රුධිරය ගමන් කිරීම. ඒ මඟින් රුධිර නාල වලට හානිවෙනවා වගේම හෘදය වස්තුව අධික ලෙස වෙහෙසට පත්වෙන්නත් පුළුවන්. අධික ස්ථුල පුද්ගලයින්ට ඇතිවෙන තවත් ප්‍රධානම ගැටළුවක් තමයි මේ අධි රුධිර පීඩන තත්ත්වය. මේ හරහා ආඝාත, දරුණු හෘදයාබාධ වගේම වකුගඩු ආශ්‍රිත ගැටළුත් ඇතිවෙන්න පුළුවන්. ඒ සියළු ගැටළු මරණය දක්වා දුරදිග යන්නත් පුළුවන්. 

 

 

3. ආඝාතය

ආඝාතය කියල කියන්නෙ හෘදය වස්තුවේ සිට මොළයට රුධිරය සැපයෙන නාල වල අවහිරතාවයක් හෝ පුපුරා යෑමක් නිසා මොළයට කෙරෙන රුධිර සැපයුම නැවතීමක්. මේ හේතුවෙන් මොළයේ පටක වලට හානිවෙලා අංශභාගය වැනි දීර්ඝ කාලීන ආබාධ තත්ත්වයන් ඇතිකරන්න පුළුවන්. මේ විදිහට අඝාත තත්ත්වයක් ඇතිවෙන්න බලපාන ප්‍රධානම හේතුවක් තමයි අධි රුධිර පීඩනය. කලින් විස්තර කරපු විදිහට අධික ස්ථුලභාවයෙන් පෙලෙන පුද්ගලයින්ට අධි රුධිර පීඩනය සම්බන්ධ ගැටළු සුලභ නිසාම මේ ආඝාතය කියන තත්ත්වය ඇතිවෙන්න තියෙන අවස්ථාවත් බොහොම ඉහළයි. ඒ වගේම ස්ථුලභාවය නිසා ඇතිවෙන කොලෙස්ටරෝල් තත්ත්වයන් නිසාත් රුධිර නාල අවහිර වීම ඇතිවෙලා හෘදයාබාධ සහ ආඝාත තත්ත්වයන් ඇතිකරන්න බොහොම පහසුයි. 

 

 

4. දියවැඩියාව

දියවැඩියාව කියන රෝගයේ වර්ග දෙකක් තියෙනවනේ. ඒ පළමු මට්ටමේ දියවැඩියාව (Type 1 Diabetes) සහ දෙවන මට්ටමේ දියවැඩියාව (Type 2 Diabetes) කියන වර්ග දෙක. සරලව කිව්වොත් රුධිරගත සීනි මට්ටම අඩුවීම සහ වැඩිවීම. මේ දෙක අතරින් සුලභවම දකින්න තියෙන දියවැඩියා වර්ගය තමයි type 2 diabetes කියන්නෙ. ශරීරය අධික ලෙස මහත අයට මේ type 2 diabetes කියන තත්ත්වය වැළඳෙන්න තියෙන අවදානම වැඩියි. ඒ වගේම සංඛ්‍යාලේඛන වලට අනුව මේ දෙවන මට්ටමේ දියවැඩියාව වැළඳුන පිරිසගෙන් වැඩි දෙනෙක්ම අධික ස්ථුල පුද්ගලයින්. ස්ථුලභාවය නිසා ඉන්සියුලින් වල ක්‍රියාවලියට බාධා ඇතිවෙනවා. ඒ මඟින් රුධිරයේ තියෙන ග්ලූකෝස් නිවැරදි ලෙස භාවිතා වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා රුධිරගත ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. 

 

 

5. පිත්තාශයේ රෝග

පිත්තාශයේ ගල් ඇතිවීම හෙවත් Gallstones සහ cholecystitis හෙවත් පිත්තාශය ආශ්‍රිතව ඇතිවෙන අධික දැවිල්ල කියන රෝග තත්වයන්ටත් මේ තරබාරුකම විශාලම හේතුවක් වෙන බව තමයි කියවෙනේ. ස්ථුල පුද්ගලයින්ගේ ශරීරයේ පවතින අධික කොලෙස්ටරෝල් තත්ත්වය තමයි ප්‍රධානවම මේ පිත්තාශය ආශ්‍රිත රෝග තත්ත්වයන්ට හේතුවෙන්නේ. 

 

 

6. ශ්වසන පද්ධතිය සම්බන්ධ ගැටළු

අධික තරබාරු පුද්ගලයින්ට ඇතිවෙන තවත් ප්‍රධානම සෞඛ්‍ය ගැටළු වර්ගයක් තමයි මේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටළුකාරී තත්ත්වයන්. ඔවුන්ට Sleep Anemia වගේ ශ්වසන ගැටළු ඇතිවෙන්න පුළුවන්. ඒ කියන්නෙ නින්දේදී එකවරම නොදැනුවත්ව හුස්ම ගැනීම නැවතීම. මේ Sleep Anemia තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයින් තමයි නින්දේදී අධිකව ගොරවන්නේ. ඒ වගේම ස්ථුල පුද්ගලයින්ට ඇදුම වැනි පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවෙන්න තියෙන අවස්ථාවත් බොහොම ඉහළයි. කොහොමත් ඇඟේ මහත වැඩිවෙනකොට හුස්ම ගැනීම අපහසුවීම ඕනම කෙනෙක් අත්විඳින තත්ත්වයක්. මේ එම තත්ත්වයේ තවත් ඉදිරියට ගියපු පියවරයන්. 

 

 

7. සමහර පිළිකා වර්ග

පිළිකා හැදෙන්නත් අධික තරබාරුව බලපාන්න පුළුවන් කිව්වත් පුදුමයි නේද? හැබැයි මේක ඇත්තක්. මහා බඩවැලේ පිළිකා, පියයුරු පිළිකා, ගර්භාෂය ආශ්‍රිත පිළිකා වගේම වකුගඩු ආශ්‍රිත හුඟක් පිළිකා වර්ග වලටත් තරබාරුව ප්‍රධාන හේතුවක් බව තමයි නවතම සොයාගැනීම් වල සඳහන් වෙන්නෙ. මේ සඳහන් කරපු ශරීරයේ ප්‍රධානම අවයවයන් වටා බැඳෙන අධික මේද තට්ටුව නිසා තමයි පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ යන බව පැවසෙන්නේ. 

 

The post අධික තරබාරුව නිසා ඇතිවන රෝග ගැන දැනුවත් වෙමු appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here