අධ්‍යාපනය කියන්නේ රැකියාවලට දරුවන්ව හදන ෆැක්ටරියක් නොවේ යැයි වරාය හා සිවිල් ගුවන්සේවා ඇමති ආචාර්ය අනුර කරුණාතිලක අවධාරණය කරයි
ඔහු මේ බව අවධාරණය කළේ, පසුගිය 17 වනදා මහනුවරදී පැවති අනාගතය ඔබයි – ඉගෙනගන්න – හෙට දිනන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතිකාවට සම්බන්ධ වෙමිණි.
එම අවස්ථාව සඳහා ජාතික භික්ෂු පෙරමුණේ මහනුවර දිස්ති‍්‍රක් විධායක සභික, නුවරඑළිය මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක රණවන ජනරජ විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති, පූජ්‍ය ඇකිරියේ පඤ්ඤානන්ද හිමිපානෝ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ විධායක සභික ධම්මික අලහප්පෙරුම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, විදුහල්පති සේවා සංගමයේ ලේකම් සිසිර රාජපක්ෂ, සමාජ ක්‍රියාකාරිනී අනෝමා උඩුකුරුප්පු, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති පුෂ්පික විමුක්ති යන අයද එක් වී සිටි අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය හා ගුවන්සේවා ඇමති ආචාර්ය අනුර කරුණාතිලක,
“අධ්‍යාපන පරිවර්තනයට අදාළව සකස් කර තිබුණේ එක රැයක දෙතුන් දෙනෙකුගේ සිත්වල ඇතිවුණු කරුණු නොවෙයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාව දීරඝ කාලයක් පැවතුණා. 2010 – 2012 වගේ කාලයේ ඉඳලා අධ්‍යාපනඥයන්, වෘත්තිය සංවිධාන, එකතු වී දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කළ යුතුයි කියන සාකච්ඡාව ආරම්භ කළා. 2018 දී ජාතික ජන බලවේගය පිහිටුවා අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සකස් කිරීමට අවුරුදු දෙකකට ආසන්න කාලයක් විවිධ වෘත්කියන් මුණ ගැසී සාකච්ඡා කර, සමාජ සාකච්ඡාවක් ගෙන ගියා.
අපේක්ෂාවේ අපේක්ෂකයා කියන ප්‍රතිපත්ති ප්රකාශනය සමග 2019 ජනධිපතිවරණයට අනුර දිසානායක සහෝදරයා ඉදිරිපත් වු අවස්ථාවේ මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙනාවා.
2024 දී පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්ති ප්රකාශනය හඳුන්වා දීමේදීත් ඉදිරියට ගෙන ආවේ අරමුල්ම මූලධර්මයයි.
මෑත කාලයේ තිබුණු ආණ්ඩු ගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල හරය වී තිබුණේ රාජ්‍ය මැදිහත් වීම දුර්වල කරමින් රජය ක්‍රමිකව ඉවත් වීමේ ප්රවේශයයි. 1980 දශකය මුල හඳුන්වා දුන් ධවල පති‍්‍රකාවේ අඩංගු වී තිබුණේ මෙම මූලධර්මයම තමයි. පොකුරු පාසල් යෝජනා කළේ පරිධියේ පාසල් දුර්වල කර, පාසල් සංවරධන මණ්ඩල හරහා දෙමාපියන්ට බර පටවන්නයි. මහජනතාවගේ විරෝධය මේ ප්‍රතිසංස්කරණවලට ආවේ ඒ නිසයි. නමුත් වර්තමානයේ ඉදිරිපත් කර තිබෙන අධ්‍යාපන පරිවර්තන ප්‍රතිපත්ති මාලාව තුළ වෙළඳපොළ වෙත යොමුකර තිබූ අධ්‍යාපනය එයින් මුදා ගන්න පියවර ගෙන තිබෙනවා. ආර්ථික හැකියාව කුමක් වුවත් හැමදෙනාටම සමාන අධ්‍යාපනයක් ලැබීමේ ප්‍රවේශය තහවුරු කර තිබෙනවා.
ඒ වගේම මානව සංවර්ධනය සහ සේවා නියුක්තිය මූලධර්මයක් ලෙස සලකා ජාතික මෙන්ම ගෝලීය අවශ්‍යතා ඉලක්ක කර ගනිමින් දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කිරීමට යොමුකර තිබෙනවා. අධ්‍යාපනය කියන්නේ රැකියාවලට දරුවන්ව හදන ෆැක්ටරියක් නොවෙයි. නමුත් තමන්ගේ පවුලට වගේම රටටත් ඒ අධ්‍යාපනයේ ප්රතිලාභ ආර්ථිකමය වශයෙනුත් ලබාදීමේ හැකියාවක් සහිත කුසලතාවයකින් යුතු දරුවෙකු බිහිකිරීමට මේ අධ්‍යාපන පරිවර්තනයේ ගුණාත්මකව අඩංගු කර තිබෙනවා.
අපේ රටේ පවතින සියලු සංස්කෘතික විවිධත්වයන්ට ගරු කරමින් ශිෂ්ට සම්පන්න මිනිසෙකු බිහිකිරීමේ පදනම මේ අධ්‍යාපන පරිවර්තනය තුළ ඇතුළත් කර, තිරසාර නවෝත්පාදන වෙනුවෙන් විශාල ඉඩකඩක් ලබාදී තිබෙනවා. අලුත් දේවල් සම්බන්ධයෙන් විමර්ශනශීලී විචක්ෂණ පුරවැසියෙක් බිහිකිරීම සහ දරුවන්ට තිබෙන බර අඩුකිරීම මූලික අරමුණ කර ගනිමින් මේ ප්‍රතිසංස්කරණ දියත්කර තිබෙනවා.
මේ පරිවර්තනය වෙනුවෙන් කි‍්‍රයාකිරීමේදී සමහර ආයතනික ව්‍යුහයන්ගෙන් එල්ලවන බලපෑම් පිළිබඳවත් අපි හඳුනා ගනිමින් ගැටලු නිරාකරණය කර ගෙන ඉදිරියට යාම වෙනුවෙන් සියලුම දෙනා එකට එකතු වෙන ලෙස ඉල්ලා සිටිනවා.”












40
Saru News








