අද ආදරණිය දවසක් වෙන්න….

0
3

ලෝකය ආදරයට වැඩිම අගයක් දෙන දවසෙ ඒ ආදරය මිය යමින් තිබෙන ලෝක දේශපාලනික සංදර්භයට නිහීන කාරණාවන් ඇතුළෙ පතුළෙම තියෙන ඉන්දු – ලංකා විරසකය ක්‍රීඩාවේ මහත්මා ගුණයට කරන කැළල මකා දමා යළීත් එහි ගුණාත්මක භාවය ඉපැද්දවීමට පකිස්තාන නායකයා දක්වන නමණියත්වය කොළඹ දී ප්‍රකාශවීම අගය කළ යුතුයි.ඒ හුදෙකලා සංදර්භයක් නොවුණු ආදරයේ මහා සුවිසල් බව දැණුන මොහොතට අදාළ වචන පිටවුණ බිම ශ්‍රී ලංකාව වීම ගැන ලාංකිකයන්ටත් සතුටු විය හැකියි.
ඉන්දියාවේ පහල්ගම් ප්‍රදේශයේදී සිදුවූ ප්‍රහාරයතින් ඉනික්බිති පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී පාකිස්තානු නායකයාට අතට අත දී සුබපැතීම ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් ප්‍රතික්ෂේප කිරීම ක්‍රීඩාවේ ජීව ගුණයට හානිදායක එකකි.එතැන් සිට එකිනෙකා රුස්සන්නේ නැති ක්‍රීඩාවට අනුචිත ක්‍රියාකාරකම්වලින් පිරුණු ඉන්දීය පකිස්තාන ක්‍රිකට් හැසිරීම් මෙවර ලෝක කුසලානයේ සුන්දරත්වයට,මිත්‍රශිලීත්වයට වැට බැදුණු තැනක් වීමට තිබුණු ඉඩ වසා දමන්නට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ සිට විශාල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්නට සිඳු විය.
“මගේ පෞද්ගලික අදහස කියන දේ තේරුමක් නැති දෙයක්.ක්‍රිකට් කෙරෙන්න ඕනි හැමදාම කෙරුණු විදිහට.ක්‍රිකට්වලට අදාළ ක්‍රිකට්මය වූ වටිනාකම් ආරක්ෂා කරන්න ඕනි.ඒ තත්ත්වය ඇතුළෙ මොනවද කරන්න ඕනි කියන එක ඒ අයට භාරයි. යනුවෙන් මාධ්‍ය ඉදිරියේ අදහස් දැක් වූ පකිස්තානු නායකයා ලෝක කුසලාන තරගාවලියේදි ඉන්දීය කණ්ඩායමට අතට අත දීමට තමන් සූදානම් බව ප්‍රකාශ කරමින් ඉන්දීය නායකයාටත්,කණ්ඩායමටත් ආදරණිය බවුන්සර් පන්දුවක් යොමු කළේය.එයට නිවැරදිව පහර එල්ල නොකළොත් පන්දුව හිසේය.

දෙරටේම දේශපාලන න්‍යාය පත්‍ර මේ වන විටත් ක්‍රිකට් ක්‍රීඩාවේ ගුණාත්මක සංදර්භයට කර ඇති හානිය සුළුවෙන් සැළකිය නොහැකිය.ඉන්දීය ජාතිකයෙකු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මුල් පුටුව මත සිටිමින් ඉන්දීය විරෝධයන්ට අයිසීසිමය මුහුණුවරක් දෙන්නේද යන්නෙහි සැකය මතුවන්නේ එම පුද්ගල චරිතය හා බැදුණු පක්ෂ දේශපාලනික පසුබිම හේතුවෙන්ය.පකිස්තානයේ ද තත්ත්වය එබඳුය.ආසියානු සහ පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොසින් නක්වි ද පකිස්තානු දේශපාලන පිටියේ ප්‍රබලයෙක්ය.

රාජ්‍ය දේශපාලනයේ සීමාවන්ට වඩා පුළුල් ලෝකයක්,ලෝකයටම අදාළ වෙනත් බලවේගවලින් නොසෙල්වුණ ආදරයක්,මිත්‍රශිලීත්වයක්,හිතෛශිවන්තභාවයක් ක්‍රීඩා පිටියට ඇත.යුද්ධය,එදිරිවාදිකම් පැතිරුණු දේශයන්ට වැට බඳින,එහෙත් ක්‍රීඩාවේ මානවීය ජවසම්පන්න නියෝජනයන්ට ඒ රටවල නොහික්මුණකම්වලින් මඟ හැර සිටින්න පොදු ධජයක් සකස් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් ක්‍රියාවලිය තුළම ඉඩ සැකසී ඇත්තේ දේශපාලනයේ රුදුරු අරමුණු වලින් ක්‍රීඩවේ ප්‍රේමය රැක ගන්නටය.ඒ සැකිල්ලක් දක්වන පුංචි වචන ගණනකින් සල්මන් අගා වැලන්ටයින් දවසේම දුන්න ආදරණිය බලාපොරොත්තුව හීනයක් නොවී පිපෙන මොහොත ලෝකයක් බලා සිටින අද ප්‍රේමදාස පිටියේදී දැක ගන්නට ක්‍රීඩාවට වාසනාව උදාවේවා යන්න අපේ පැතුමය.

හිස්වලින් පිරුණු ප්‍රේමදාස පිටියේ ඒ හිස් අතරින් ආදරය,මිත්‍රත්වය පිරුණු බර හැසිරීම්ම විදහා දැක්වෙනු ඇතැයි අපි බලාපොරොත්තුව සිටිමු.ඒ සියල්ල එකට කැටි කරන මොහොතක් උදා කරන්නට ශ්‍රී ලංකාවට මූලික වීමට හැකිවීම මේ ලෝක කුසලානයේ කුසලානයට පෙරාතුව වෙනත් කිසිඳු රටකට ජයගත නොහැකි කුසලානයක් ජයගැනීමකි.
ඒ නිසාම ඉකුත් වසරේ සමාජ මාධ්‍යය තුළ පළ වූ, ක්‍රිකට් පිටියේ පමණක් නොව රට රටවල් අතර ද මිනිසුන් අතරින් දැකිය යුතු වූ ආදරණීය දසුනකට උදාහරණ දෙමින් මේ මිනිසුන් දෙදෙනාගේ වැළදගැනීම අපි මේ සටහනට එක් කරන්නෙමු.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here