අතින් වියදම් කරගෙන ගොස් ආසියාව දිනා රටට කීර්තිය ගෙනා Throwball සූර සූරියෝ

0
4


නිශ්මං රණසිංහ මැයි 06, කොළඹ LNW:

ඉන්දියාව වගේම පකිස්තානයටත් චීනයටත් මුල් උරුමය ඇති බොහෝ පිරිසක් විවිධ රටවලට ක්‍රීඩාවෙන් සම්බන්ධ වී ඇත.මේ නිසාම වෙනත් ජාතිකයින් ලෙස එම රටවල සම්භවය සහිත අයට මෙන්ම මුල් රටේම අයට ද විශාල ඉඩක් ජාත්‍යන්තර ක්‍රීඩා කේෂ්ත්‍රය තුළ ක්‍රීඩකත්වයට මෙන්ම පරිපාලනයට ද ඇත.ත්‍රෝ බෝල් ක්‍රීඩාවත් ආසියාව තුළ මෙන්ම ක්‍රියාත්මක රටවල් අතර ඒ ආකාරයේ ඉන්දියානු ආධිපත්‍යයට නතුව ඇති බවක් පෙනෙන්නට ඇත.ඒ නිසා ආසියාවේ දී, ඉන්දියාව යනු ත්‍රෝ බෝල් ක්‍රීඩාවේදී පරාජය කිරීම දුෂ්කරය.එහි ආරම්භයත් ඉන්දියාවට විහිදෙන අතර වොලිබෝල් ක්‍රීඩාවෙන් විකාශය වී 1955 දී පමණ එය යම් නෛතික රටාවකට ලේඛණගත වී ආරම්භ වී තිබේ.එසේම ලෝක සම්මේලනය ආරම්භයේ ද පුරෝගාමී වී ඇති ඉන්දියාවට උරුමය ඇති ත්‍රෝ බෝල් ඔස්ට්‍රේලියාව,නවසීලන්තය,ඇමෙරිකාව,කැනඩාව,බ්‍රසීලය,ආර්ජෙන්ටිනාව,ඉතාලිය,ප්‍රංශය,ස්පාඤ්ඤය,ස්විඩනය වැනි රටවලට ද ව්‍යාපත්ව අද වන විට වැඩෙමින් ඇත.

එ් නිසා ඉන්දුනීසියාවේ බටම් හි ටිබන් හි ගෙඩුං ඔලරාගා රාජා ජෆාර් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අවසන් වූ 2025 ආසියානු ත්‍රෝබෝල් ශූරතාවලියේදී ශූරතා දෙකම දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා ත්‍රෝබෝල් කණ්ඩායම් සමත්වීම සුළුවෙන් ගත නොහැකිය.ඔවුන් එහිදී සිඳු කර ඇත්තේ එහි උරුමක්කරුවන්ගෙන් කිරුළ පැහැර ගැනීමක්ය. තරඟාවලිය ලීග් ආකෘතියක් අනුගමනය කළ අතර, ශ්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන කණ්ඩායම් රවුන්ඩ්-රොබින් සැකසුමකින් තරඟ කළහ. තරඟාවලියේ ස්ථානය මැලේසියාවේ සිට ඉන්දුනීසියාවට මාරු කිරීමෙන් පසු ඇති වූ වීසා ගැටළුවක් හෝ වෙනයම් රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් හේතු කරගෙන හෝ බංග්ලාදේශය සහ පාකිස්තානය තරගාවලියට සහභාගි නොවිණි.

මේ තරගාවලියේ දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කාන්තා අංශයේදී මෙන්ම පිරිමි අංශයේදී ද තරග ආකෘතියට අනුව දෙවර බැඟින් මුණ ගැසිණ.ඒ අවස්ථාවන් දෙකේදීම ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලැබූ අතර අවසාන තරගයේදී සිඳු වූ අවසාන හමුවීම්වල ජයග්‍රහණය තවත් පුළුල් වී තිබෙනු දකින්නට ලැබිණ.

පිරිමි අංශයේ දී පළමු හමුවීම ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ජය ගත්තේ 2- 0 ලෙසින්මය.අවසාන තරගයේදී ලකුණු 25 – 12 ක් ලෙස පළමු වටයත්,දෙවන වටය ඊටත් පහසුවෙන් 25 – 8 ක් ලෙසත් ජය ගැනීමට සමත් විය.කාන්තා අංශයේදී පළමු වටයේ ජයග්‍රහණය 25 – 21 ක් ලෙස තියුණු සටනකින් පසු අත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.දෙවන වටයේ දී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තව දුරටත් 25 – 18 ක් ලෙස පහසු විය.කාන්තා අංශයේ මුල් වටයේ ඉන්දියාවට එරෙහි හමුවීම ද සඳහන් වූයේ වට 2-0 ක ජයක් ලෙසම ය.
මේවා පිරිපුන් යැයි කීමට අපොහොසත් නමුත් යම් නිශ්චිත සැළසුමක යහපත් පලයක් භුක්ති විදීමකි.ශ්‍රී ලංකා ත්‍රෝ බෝල් සභාපති රුමෝල්ඩ් ප්‍රනාන්දු පැවසුවේ මාස හයක පමණ කාලයක් මේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් සැළසුමක නියැලුණ බවය.දිස්ත්‍රික් මට්ටමෙන් තරග පවත්වා දක්ෂයන් හඳුනාගෙන කළ සංචිතගත කිරීමක් හැටියට එහි අවසාන පලය වන කාන්තා සහ පිරිමි ජාතික කණ්ඩායම් ගත හැකිය.ඒ දක්ෂතා සැළකිල්ලට ගනිමින් සංවර්ධන සංචිතයක් පවත්වා ගෙන යන අතර සභාපතිවරයා පවසන්නේ එහි ඕනෑම මොහොතක ජාතික කණ්ඩායමට කැඳවිය හැකි දෙවන පෙළක් සූදානම්ව සිටින බවය.වැදගත්ම කොටස වන්නේ තව ඉදිරියට විහිදුණු යොවුන් කණ්ඩායමක් අවුරුදු 12 – 18 අතර කාණ්ඩ සැළකිල්ලට ගනිමින් පවත්වා ගෙන යාමය.

මේ සියල්ල පසුපස ඔවුන්ට තව දුරටත් සාර්ථක වීමේ හැකියාව අඩු කර තිබෙන්නේ මූල්‍යමය ගැටළුවය.ක්‍රීඩාවට සෘජු අනුග්‍රාහකයෙකු සිටීනම් හෝ අමාත්‍යංශය හරහා සොයා දෙන්නේනම් මේ ගැටළුව විසඳා ගැනීම අපහසු නැත.මේ සංචාරයේදී ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූයේ පෞද්ගලිකව මුදල් හොයා ගෙනය.සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සේවය කරන හෝ අධ්‍යාපනය ලබන ස්ථානවලින් ගෙවීම් කර ඇත.නැතිනම් වෙනත් මාර්ගවලින් මුදල් සොයා ගැනීමට කටයුතු කර ඇත.හැබැයි ඒ කුමනාකාරයෙන් මේ ජයග්‍රාහී කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූල්‍යමය ආධාර දුන් අයට දැන් තෘප්තිමත් විය හැකිය.තමන් උපන් බිමට නැත්නම් ජීවත්වෙන රටට මේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආසියාවම දිනා කීර්තිය ගෙන ආහ.
දැන් දිණුවනෙ.ක්‍රීඩා අමාත්‍යංශය මුදල් දෙයි.ණය වෙලා යම් යම් දේ උගස් කරලා ගිය අයත් මේකෙ ඇති.ඒ අයට වැදගත් වෙයි.“

සභාපතිවරයා සිය ක්‍රීඩාවේ සඟයන් වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශය දෙස බලා සිටින්නේ බලාපොරොත්තු සහගතය.ඒත් නොඳුන්නාද දුන්නාද කියා ඇසූ විට නොඳුන් බව නොකියා වෙනත් කතාවක් කියන්නේ ලංකාවේ දේශපාලන සංස්කෘතියේ අත්දැකීම් මත පිහිටා විය යුතුය.

අපටත් එය වෙනස් වී ඇතැයි ක්‍රීඩා කේෂ්ත්‍රය හරහානම් කියන්න සාධක නැත.නාමල්ලාගේ – මලික්ලාගේ සහයෝගය මත ඔවුන්ගේ මිත්‍ර සංධාන විසින් ක්‍රීඩාව පාලනය කරමින් සිටින සංස්කෘතියක සිටින බව දකින්නට ඇතත්,ක්‍රීඩාවක පරිපාලකයන් ඉන්නේ ඒ දේශපාලනය කියවා ගැනීම හසුවන සර්වඥ කුලකයට හසු නොවීය.ඔවුන් සිටින්නේ තමන්ගේ ක්‍රීඩාව සහ එහි බලාපොරොත්තු ජයග්‍රහණ සහ ඒ සම්බන්ධ රජයෙන් ලැබෙන උපකාර ගැන මවා ගත් සිහින කුලකයේය.
මේ කුලකයට හසුවන කාරණා අතර සභාපතිවරයා පෞද්ගලිකත්වය සුරකිනු පිණිස දන්නේ වුව ද සඟවගෙන සිතින් තැවෙනවා විය හැකිය.ආසියාව දිනා ආවද ඒ වෙනුවෙන් තමන් ගත් ණයේ පොලිය මාස ගණනේ දකින කොට,ඒ වෙනුවෙන් හිස් වූ ගෙදර කාගෙ හො තමන්ගේ හෝ කණකර ජයග්‍රහණය විසින් පුරවා නැත්නම් එය ක්‍රීඩා කිරීමේ උනන්දුවට සහ හැකියාව වැඩි දියුණු කර ගැනීමට බලපාන්නේය.දුර්වලකම් බිඳ වැටීම් ඇඳ වැටීම් ඇති වන්නේ ඒ තැන්වලින්ය.ක්‍රීඩා ඇමතිවරයාට එවැනි ප්‍රායෝගික දැණුමක් නැති බව අපි දනිමු.ඔහු අසන්නේ නිශ්චිත ගණන් සහිතව අපට වෙන් කරන නිල හෝටලයෙ නොසිට වෙනත් අඩු හෝටලයක් සොයා නොගත්තේ මන්දැයි වැනි අතාර්කික කරුණුය.

එම හෝටලයෙන් තරග බිමට ප්‍රවාහනය සිඳුවන බව,කළමණාකාර රැස්විම් හැම විටම පැවත්වෙන බව,ගැටළුවකදි තාක්ෂණික කමිටුව සහ සංවිධායකයින් එහි සිටින බව මෙන්ම ප්‍රධාන කොට ආරක්ෂාව ද ගැන අදහසක් නැත.ඔහු ඔහුගේ වෘත්තියේ ගණන් ඉලක්කම්වලින් ක්‍රීඩාවේ ප්‍රායෝගික භාවිතය මැන ගන්න උත්සාහ දරන බව දැනී ඇත.ඒ නිසා මෙවැනි ක්‍රීඩා පොළවේ ඇත්ත හරියට පපුවට රිදෙන්න වඳින්නෙ නැතුව තිබෙනවා වෙන්නට ඉඩ ඇත.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here