හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නඩු පැවරීමට පෙර, නිල වශයෙන් තොරතුරු ලබා ගැනීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මහ බැංකුව වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.
එම ලිපියට ප්‍රතිචාර ලද විගස අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව නැවත මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සූදානම් වන බව වාර්තා වේ.
එම කොමිෂන් සභාව විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී තාක්ෂණීක හේතු කිහිපයක් මත මීට පෙර ගොනු කර තිබුණු අධිචෝදනා ඉල්ලා අස් කරගෙන නැවත ගොනු කිරීමට අපේක්ෂා කර තිබිණි. කෙසේ වෙතත් එම අවස්ථාවේදී කබ්රාල් නිදොස් කොට නිදහස් කළ බවට ව්‍යාජ ප්‍රචාරයක් කිරීමට පිරිසක් සැලසුම් කර තිබුණු නිසා,, එයට ප්‍රතිචාර ලෙස දූෂණ විරෝධී පනතේ 67 වගන්තිය යටතේ කොන්දේසි දමා නඩුව ඉල්ලා අස් කර ගැනීමට අල්ලස් කොමිසම තීන්දු කර තිබුණි. එම කොන්දේසි කඩ කළහොත් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අනිවාර්යයෙන් යළි නඩු පැවරිය යුතු බව දූෂණ විරෝධී පනතේ පැහැදිලිව සටහන් කර තිබේ.
මේ අතර මතභේදාත්මක ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන් රුපියල් බිලියන 1.84ක මුදලක් ගෙවූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රතික්ෂේප කර තිබේ.
රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක(රු. 1,843,267,595.65) මුදලක් තැන්පත් කළ යුතු බවට ඉදිරිපත් වූ කොන්දේසියට තමන් එකඟ නොවූ බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් දිගින් දිගටම නිර්දෝෂීභාවය ප්‍රකාශ කරන බවත් ඔහු කියා ඇත.
අල්ලස් කොමිසම විසින් යෝජනා කරන ලද එම එකඟතාවයට අනුව, ඉහත සඳහන් කළ රුපියල් කසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක (රු. 1,843,267,595.65) මුදල මාස තුනක කාලයක් ඇතුළත මහ බැංකුවේ විශේෂ ගිණුමකට ප්‍රේෂණය කළ යුතුව තිබිණි. මෙම මුදල ප්‍රේෂණය කර ඇතිදැයි නිල වශයෙන් විමසා ඇති අතර එයට ශ්‍රී ලංකා මහ බැංකුව ලබාදෙන නිල ප්‍රතිචාරයෙන් පසු අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව නැවත අධිචෝදනා ගොනු කිරිමට තින්දු කර තිබේ.
0
Saru News
















