අකුරේගොඩ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී පසුගියදා නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව තවත් කරුණු රැසක් අනාවරණ කරගැනීමට පොලිසිය සමත්ව තිබේ.
මෙම ද්විත්ව ඝාතනයට පෙර වෙඩික්කරුවන් දෙදෙනා ලැඟුම්හල් වෙත රැගෙන ආ කොට්ටාවේ පදිංචි ජනක නැමැත්තෙක්ද බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසිය පැවසුවේ විදෙස්ගතව සිටින ”මල්වානේ ටුටූ” නැමැති අපරාධකරුගේ උපදෙස් මත වෙඩික්කරුවන් ලැඟුම්හල් වෙත රැගෙනවිත් ඇත්තේ මෙම පුද්ගලයා බවය.
මෙම සැකකරු ව්‍යාජ නම් භාවිත කරමින් වෙඩික්කරුවන්ට ලැඟුම්හල් වෙත නැවතී සිටීමට පහසුකම් සලසා දී ඇත.
අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන මෙම සැකකරු මල්වානේ ටුටූගේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයෙක් ලෙසටත් හඳුනාගෙන තිබේ.
පොලිස් අත්අඩංගුවට ගැනුණු කොට්ටාවේ ජනක සමඟ මේ දක්වා අකුරේගොඩ ද්විත්ව ඝාතනයට අදාළව වෙඩික්කරුවෙක් ඇතුළු සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවේ පසු වේ.
එමෙන්ම අම්බලන්ගොඩ, දෙල්දූව ප්‍රදේශයේ කුරුඳු ඉඩමක වැඩකටයුතු කරමින් සිටියදී පෙරේදා අත්අඩංගුවට ගත් 46 හැවිරිදි සුනිල් රංජිත් නම් වෙඩික්කරුද ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර තිබේ.
තමා යුද හමුදාවේ සිටි අවදියේ කරන්දෙණියේ සුද්දා හඳුනාගත් බව ද සැකකරු පවසා ඇත.
එවක කරන්දෙණියේ සුද්දාත් යුද හමුදාවේ පාඨමාලාවක් හදාරමින් සිට ඇත.
පසුව යුද හමුදාවෙන් ඉවත් වූ තමා සොරකම්වල නිරත වී ජීවත් වූ බවත්, එක් අවස්ථාවක සොරකමකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත වූ බවත් වෙඩික්කරු පවසා තිබේ.
එම කාලයේදීම හිත හොඳ දොස්තර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණියේ සුද්දාත් රක්ෂිත බන්ධනාගාර ගත වී ඇති අතර පසුව දෙදෙනා හිතවත් වී ඇති බව ද වාර්තා වේ.
පසුව ඇප ලබා පිටතට පැමිණි පසු සිය දියණිය වැඩිවියට පත්ව සිටීම හේතුවෙන් තමා රුපියල් ලක්ෂ එක හමාරක මුදලක් කරන්දෙණියේ සුද්දාගෙන් ඉල්ලා ගත් බව නීතිඥ ඝාතනයේ සැකකාර වෙඩික්කරු පවසා ඇත.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ අවස්ථා රැසකදීම සුද්දා තමාට හෙරොයින් ලබාදුන් බවය.
සති කිහිපයකට පෙර කරන්දෙණියේ සුද්දා තමා අමතා ”ලෝයර් බුද්ධික මල්ලවආරච්චි දැන් මගේ නඩු කතාකරන්නේ නැහැ. ලොකුපැටීගේ නඩු තමයි කතාකරන්නේ. ඒ නිසා එයාට ගහන්න ඕනේ” යැයි පැවසූ බව සැකකාර වෙඩික්කරු පොලිසියට පවසා ඇත.
ඒ අනුව නීතිඥවරයා පමණක් නොව ඔහුගේ බිරිඳත් ඝාතනය කරන ලෙසට කරන්දෙණියේ සුද්දා තමාට උපදෙස් දුන් බව ද ඔහු අනාවරණ කර තිබේ.
ඒ අනුව ප්‍රහාරය දියත් කෙරුණු බවත්, වෙඩි තැබීමට යාමට පෙරත් තමා හෙරොයින් පානය කළ බවත් සැකකරු පොලිසියට පවසා තිබේ.
ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා සහ රියදුරු එකිනෙකා නොහඳුනන අතර එබැවින් වෙඩික්කරුවන් පැමිණි සහ පලාගිය මෝටර් රථයේ රියදුරු කවුදැයි මෙතෙක් අනාවරණ වී නොමැත.
ඔවුන් දිවයිනේ ප්‍රදේශ 3ක සිට පැමිණ ඇති බවට පොලිසිය සැකපළ කරයි.
එමෙන්ම ද්විත්ව ඝාතනයෙන් පසු ඊට යොදාගත් ගිනිඅවි වෙනත් වාහනයට මාරු කර තිබේ.
අත්අඩංගුවේ පසුවන වෙඩික්කරු පොලිසියට පවසා ඇත්තේ නීතිඥවරයා සහ බිරිඳ ඝාතනයෙන් පසු මෝටර් රථයෙන්ම කොට්ටාවට පැමිණි තමා එතැනින් බැස, බස් රථයකින් දෙහිවලට ගොස් පසුව අම්බලන්ගොඩට පැමිණි බවය.
පසුව තමා කරන්දෙණියේ සුද්දා අමතා සැඟවී සිටින්නේ කොහේදැයි ඇසූ විට ” හරි තැනක් නැහැ. කොහේටහරි වෙලා හිටපන්.” යැයි සුද්දා පැවසූ බව වෙඩික්කරු පොලිසියට හෙළි කර තිබේ.
ඔහු අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසට පැමිණ, එම නිවසට යාබඳ කුරුඳු වගාවේ වැඩකරමින් සිට ඇත්තේ ඒ අනුවය.
පොලිස් ආරංචි මාර්ග පවසන්නේ සැකකාර වෙඩික්කරු දින 90ක් රඳවාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවය.
Saru News















