ඔෆිස් එකේ ෆිට් එකයි, රාජකාරියයි පටලවා නොගන්නේ කොහොමද?
අපි රස්සාවක් කරනවා නම් දවසේ වැඩිම කාලයක් ගත කරන්නේ ගෙදර මිනිස්සු එක්ක නෙවෙයි, ඔෆිස් එකේ ඉන්න සෙට් එකත් එක්ක. ඉතින් එතන ඉන්න අය එක්ක පට්ට හිතවත්කමක් ඇති වෙන එක හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි “Professional” විදිහට වැඩ කරන කෙනෙක් විදිහට ඔයා ඔලුවට ගන්න ඕන ප්‍රධානම දේ තමයි, යාළුකමයි රස්සාවයි කියන්නේ පීලි දෙකක් වගේ කියන එක. ඒ දෙක පටලවා ගත්තොත් දෙකටම කෙලවෙන්න පුළුවන්. පොඩි කාලේ යාළුවෝ එක්ක හිටියා වගේ ඕනෑවට වඩා සමීප වෙන්න ගියොත්, ඔෆිස් එකේ ඔයාට තියෙන ගෞරවය නැති වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ.
ඇත්තටම පරිණත වෘත්තිකයෙක් කියන්නේ හැමෝම එක්ක හිනාවෙලා, සුහදව ඉන්න ගමන්ම තමන්ගේ සීමාව කොතනද කියලා දන්න කෙනෙක්ට. ඔෆිස් එකේ ඉන්න හැමෝම එක්ක තමන්ගේ පෞද්ගලික ජීවිතේ හැම දෙයක්ම කියවන්න යන්න එපා. ඔයා යාළුවෝ ආශ්‍රය කරන්න ඕන ඔයාගේ රස්සාවට හරි ඔයාගේ position එකට හරි බාධාවක් නොවෙන්නයි.
හිතන්නකෝ, ඔයාට රාජකාරි මට්ටමේ තීරණයක් ගන්න වුණා කියලා. එතනදී “මූ මගේ හොඳම ෆිට් එකනේ” කියලා පක්ෂපාතීව වැඩ කළොත්, අනිත් අය ඔයාව දකින්නේ දුර්වල කෙනෙක් විදිහට. ඒ නිසා යාළුකම පැත්තක තියලා සාධාරණව, කෙලින් වැඩ කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි ඔයාගේ Professional Personality එක ඉහළ නංවන්න තියෙන හොඳම විදිහ. මතක තියා ගන්න, ඔෆිස් එක ඇතුළේ ඔයා ඉන්නේ රස්සාව කරන්න මිසක් යාළුවෝ හදාගන්නම නෙවෙයි කියන එක.
ඕපාදූප වලට අහුවෙන්නේ නැතුව වැඩ දන්න මිනිහෙක් වෙන්න
ලංකාවේ ගොඩක් ඔෆිස් වල හිතවත්කම් ඇති වෙන්නේ අර කැන්ටීන් එකේ හරි ටී බ්‍රේක් එකේදී හරි තව කෙනෙක් ගැන ඕපාදූප කතා කරලයි. හැබැයි ඔයා පරිණත වෘත්තිකයෙක් නම්, අන්න ඒ Toxic රැල්ලට අහුවෙන්න එපා. තව කෙනෙක්ගේ වැරදි කියවලා ඇති කරගන්න හිතවත්කම හරිම තාවකාලිකයි. අද ඔයත් එක්ක එකතු වෙලා වෙන කෙනෙක්ට බනින එකාම, හෙට තව කෙනෙක් එක්ක එකතු වෙලා ඔයාටත් බනින්න පුළුවන්.
ඒ වෙනුවට, වැඩක් ඇති දෙයක් ගැන කතා කරන, අලුත් අදහස් බෙදාගන්න බුද්ධිමත් හිතවත්කමක් හදාගන්න. ඔයාගේ ඔෆිස් එකේ ෆිට් එක වැරැද්දක් කරනවා නම්, ඒක අනිත් අයට කියව කියව යන්නේ නැතුව පෞද්ගලිකව එයාට කියලා ඒක හරිගස්සන්න උදව් කරන්න. ඒක තමයි නියම වෘත්තීය මිත්‍රත්වය. තව දෙයක්, ඔයා විශ්වාස කරලා කවුරුහරි ඔෆිස් එකේ රහසක් කිව්වොත්, ඒක පත්තරේ දාන්නේ නැතුව තියාගන්න. එතකොට තමයි ඔයා ගැන අනිත් අයට විශ්වාසයක් ඇති වෙන්නේ.
රණ්ඩු වුණත් Professional වෙන්න ඉගෙන ගන්න
ඕනෑම තැනක වැඩ කරද්දී දෙන්නෙක් අතර මතභේද ඇති වෙන එක සාමාන්‍යයි. හැබැයි මෙතැනදී වැදගත්ම දේ තමයි ඔයා ඒ ප්‍රශ්නය විසඳන විදිහ. යාළුවෙක් එක්ක තරහ වුණා කියලා මූණ බෙරි කරගෙන ඉන්න එක හරි, වැඩ වලදී සහයෝගය නොදී ඉන්න එක හරි පට්ට අන්-ප්‍රොෆෙෂනල් වැඩක්. ඔයාගේ පෞද්ගලික අමනාපය පැත්තක තියලා, වැඩේ හරියට කරන්න තරම් ඔයාට Emotional Intelligence එකක් තියෙන්න ඕනේ.
ප්‍රශ්නයක් වුණාම ඒක හිතේ තියාගෙන ඉන්නේ නැතුව, කෙලින් කතා කරලා ඒක එතනම ඉවර කරන්න. “මම එයා එක්ක කතා කරන්නේ නැහැ” වැනි ළදරු තීරණ ඔයාගේ පෞරුෂයට හානි කරනවා. පරිණත මිනිසෙක් විදිහට ඕනෑම කෙනෙක් එක්ක, අමනාපයක් තිබුණත් ගෞරවනීය විදිහට වැඩ කරන්න පුළුවන් නම්, අන්න ඒක තමයි ඔයාගේ වෘත්තීය ජීවිතේ ලොකුම ජයග්‍රහණය.
Networking – ඔයාගේ හිතවත්කම Brand එකක් කරගන්න
වෘත්තීය හිතවත්කම කියන්නේ නිකම්ම කාලය කන එකක් නෙවෙයි, ඒක ඔයාගේ අනාගතයට කරන ආයෝජනයක්. හොඳ වෘත්තීය මිතුරෙක් කියන්නේ ක්ෂේත්‍රයේ අලුත් අවස්ථා ගැන ඔයාට කියන, ඔයාගේ අඩුපාඩු පෙන්නලා දෙන, සහ ඔයාට උඩට යන්න උදව් කරන කෙනෙක්ට. යාළුකම පාවිච්චි කරලා අයුතු ප්‍රයෝජන ගන්නවා වෙනුවට, දෙන්නත් එක්කම උඩට යන්න බලන්න.
විශේෂයෙන්ම ඔයා වෙන ජොබ් එකකට ගියත්, පරණ තැන්වල හිටපු හොඳ අය එක්ක සබඳතාවය තියාගන්න. මොකද අනාගතයේදී ඒ අයට ඔයාව හරි, ඔයාට ඒ අයව හරි ඕන වෙන්න පුළුවන්. “වැඩේ ඉවර වුණාම යාළුවෝ අමතකයි” කියන ජාතියේ කෙනෙක් වෙන්න එපා. ක්ෂේත්‍රය ඇතුළේ ඔයා ගැන හොඳ නමක් හදාගන්න නම් මේ වෘත්තීය සබඳතා පට්ටම වටිනවා.
ගෞරවය තමයි අංක එක
ඕනෑම වෘත්තීය හිතවත්කමක් පවතින්නේ ගෞරවය සහ විශ්වාසය උඩ. මිනිස්සු ඔයාට ගරු කරන්න ඕනේ ඔයාගේ තනතුරට බයට නෙවෙයි, ඔයාගේ චරිතයට . මොකක් වැඩක් කරලා දෙනවා කිව්වොත් ඒක වෙලාවට කරන්න. යාළුවෙක්ට උදව්වක් කරන්න පුළුවන් හැම වෙලාවකම අවංකව ඒක කරන්න. හැබැයි මතක තබා ගන්න, ඒ කිසිම වෙලාවක ආයතනයේ නීති රීති හරි වෘත්තීය සදාචාරය හරි පාවා දෙන්න එපා.
අවසාන වශයෙන්, ඔෆිස් එකේ ඇති කරගන්න හිතවත්කම ඔයාගේ ගමනට හයියක් වෙන්න ඕනේ මිසක් බාධාවක් වෙන්න හොඳ නැහැ.
මිනිස්සු ඔයාව අඳුරගන්න ඕනේ “වැඩත් දන්න, හැමෝම එක්ක සුහදව ඉන්න, ඒ වගේම කෙලින් වැඩ කරන පරිණත මනුස්සයෙක්” විදිහටයි.
2026 වසරේ ඔයාගේ දක්ෂතාවයට වගේම, ඔයා පවත්වා ගන්නා මේ ගෞරවනීය සබඳතා වලටත් ලොකු වටිනාකමක් ලැබෙනවා.
Saru News
















