මෙරට අවසන් මුඛ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව අවුරුදු 12 දරුවන්ගේ දත් දිරා යාම 30%ක ප්‍රතිශයක පැවතුණු බවත් පළමු මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ එම තත්ත්වය 70%කට ආසන්න වූ බව දන්ත සේවා විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.
එළැඹෙන මාර්තු මස 10 වැනි දින සිට ආරම්භ කිරීමට නියමිත මෙරට 05වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසීය.
විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ මෙරට ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් අවසන් වරට මෙරට තුළ සිදුකර ඇත්තේ 2015-2016 වසරේදී වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වනුයේ වසර 10කට වරක් ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් පැවැත්වීම බවය.
ඒ අනුව වසර 10ක් ගතවී ඇති බැවින් එළැඹෙන 10 වැනි දින සිට නොවැම්බර් මාසය දක්වා මෙරට 05නක ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පැවැත්වීමට කටයුතු කරන බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
“අපි මේ වන විට රටක් විදිහට ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණ 04ක් පවත්වලා තිබෙනවා. පළවෙනි මුඛ සෞඛ්‍ය සමීක්ෂණය පවත්වලා තිබුණේ වසර 1982-1983. දළ වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ තමයි රටක් වසර 10කට සැරයක් ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් පවත්වලා තම තමන්ගේ මුඛ රෝගවල තත්ත්වය කොහොමද කියලා බලාගන්න ඕනේ කියන එක. අවසන් වරට මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් පවත්වලා තියෙන්නේ 2015-2016ක කාලය ඒ නිසා වසර 10ක කාලය දැන් ගතවෙලා තියෙනවා ඒ නිසා තමයි අපි දැන් මේ මාර්තු 10 වැනිදා ඉඳලා නොවැම්බර් මාසය දක්වා දත්ත එකතු කරමින් ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණ දත්ත එකතු කරන්නේ.”
මෙම අවස්ථාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ මෙරට සෑම වැඩිහිටියන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු විදුරුමස් ආශ්‍රිත රෝගවලින් පීඩා විඳින බවය. එමෙන්ම මෙරට වැඩිහිටියන්ගේ විදුරුමස් රෝග ප්‍රතිශතය 50%ක අගයක් ගන්නා බවත් පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මීට බලපා ඇත්තේ මෙරට සීනි පරිභෝජනය බවත් පෙන්වා දුන්නේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වනුයේ වසරකට පුද්ගලයෙකු සීනි කිලෝ 10ක් පමණක් භාවිත කළ යුතු වුවත් ශ්‍රී ලාංකිකයෙකු වසරට සීනි කිලෝ 34ක් භාවිත කරන බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
“වැඩිහිටියන්ගේ විදුරුමස් රෝග ප්‍රතිශතය ගත්තොත් 50%ක්. ඒ කියන්නේ වැඩිහිටියන් දෙන්නෙක් ගත්තොත් එක්කෙනක්ට විදුරුමස් රෝග තියෙනවා. ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ මේ මුඛ රෝගවලට අවදානම් සාධක ගැනත් අවධානය යොමු කරනවා එහෙම බැලුවාම අපේ රටේ සීනි පරිභෝජනය, සීනි සහිත ආහාර ගැනීම ගැන අපි දත්ත එකතු කරනවා අපේ රටේ සීනි සහිත ආහාර ගත්තොත් තේ බොන කොට පාවිච්චි කරන සීනි සහිත ආහාර, බනිස්වගේ දේවල්, පැණි බීම, තේවලට දාන සීනි ප්‍රමාණය බලපානවා.
ලංකාවේ සීනි පරිභෝජනය වැඩියි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය නිරෝගී පුද්ගලයෙකුට නිරෝගීව ඉන්න නම් වසරකට සීනි කිලෝ ග්‍රෑම් 10ක් පමණයි පාවිච්චි කළ යුත්තේ. ශ්‍රී ලාංකිකයෙක් දළ වශයෙන් වසරකට සීනි කිලෝ 34ක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයට වඩා තුන් ගුණයකටත් වැඩියෙන් අපේ අය සීනි පාවිච්චි කරනවා.”
මෙවර මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේදී අවුරුදු 05 සහ ඊට අඩු දරුවන්ගේ දත් දිරායාම සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
වෛද්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය සමීක්ෂණ සියල්ලගේම එම දරුවන්ගේ දත් දිරායාම ප්‍රතිශතයක් ලෙස 63%ක අගයක් ගත් බවත් ඒ අනුව මෙම තත්ත්වය සම්බන්ධව නොයෙකුත් පියවරයන් ගනු ලැබූ බැවින් එම අගය මෙම වසරේ අඩුවීමක් පෙන්නුම් කරන්නේද යන්න මෙම සමීක්ෂණයේදී අවධානය යොමු කරන බවය.
එමෙන්ම ෆ්ලෝරයිඩ් දන්තාලේප භාවිතය මෙරට වයස් කාණ්ඩ 75%කට වැඩි ප්‍රමාණයක් භාවිත කරන බව පෙන්නුම් කරන බවත් පැවසූ වෛද්‍යවරයා සඳහන් කළේ මෙය සුබදායි ක්‍රියාවත් බවත් එම අගය තවත් වැඩි කරගත යුතු බවත්ය.
“මුඛ සෞඛ්‍ය සම්බන්ධව තවත් වැදගත් දෙයක් වෙන්නේ ෆ්ලෝරයිඩ් දන්තාලේප භාවිතය. ෆ්ලෝරයිඩ් දන්තාලේප භාවිතය පසුගිය මුඛ සෞඛ්‍ය සමීක්ෂණයට අනුව ලංකාවේ ජනගහනයෙන් වැඩිහිටිම ජන ගහනය ඇරෙන්න අනික් සියලුම වයස්වල කාණ්ඩ 75%කට වැඩි ප්‍රමාණයක් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප භාවිත කරනවා. මේක සුබ ලකුණක් මේක තවත් අපි වැඩිකරගත යුතුයි. අපි මේ සැරේ සමීක්ෂණය කරද්දි වැඩියෙන්ම බලන දෙයක් තමයි කුඩා දරුවන්ගේ ඒ කියන්නේ වයස අවුරුදු 5 දරුවන්ගේ දත් දිරා යෑම කොහොමද කියලා. මොකද අවසාන මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේදී වයස අවුරුදු 05 දරුවන්ගේ දත් දිරායාම 63%ක්. ඒක ටිකක් වැඩි ප්‍රමාණයක්. මේ කිරි දත් තියෙන දරුවෝ අවුරුදු 05 දරුවෝ කියන්නේ. ඒ දරුවන්ගේ පසුගිය මුඛ සෞඛ්‍ය සමීක්ෂණ 04ම බැලුවාම ඔය 63% වටේ තමයි තියෙන්නේ ඒ කියන්නේ ඒකේ අඩුවීමක් වෙලා නැහැ. ඒ සම්බන්ධයෙන් අපි නොයෙකුත් පියවර පසුගිය වසර 10ක කාලය තුළ අරගෙන තිබෙනවා ඒකේ බලපෑමක් ඇවිල්ලා මේ 2026 වසර වෙනකොට මේ දරුවන්ගේ දත් දිරායෑම අඩුවීමක් වෙලා තියෙනවාද කියලා අපි නිරීක්ෂණය කරනවා.”
විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය දශකය සහ ඊට පෙර සිටම අලෙවියට තබා ඇති දත් කුඩු වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනීමට සමත් වූ බවත් පසුගිය ආර්ථික අර්බුදයත් සමග දත් බෙහෙත් මිල ඉහළ ගිය බැවින් දත්කුඩු නැවත වෙළෙඳපොළ වෙත පැමිණීම දක්නට ඇති බවය.
කෙසේ නමුත් දත්කුඩු භාවිතය දන්ත සෞඛ්‍ය සඳහා අතිශය හානිකර දෙයක් වන බවත් පෙන්වා දුන් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ දත්කුඩුවල ඇති රළු සහිත ස්වභාවය දන්ත සෞඛ්‍යට අතිශයින්ම හානිකර තත්ත්වයක් උද්ගත කරනු ඇති බවත්ය.
“ආර්ථික අර්බුදයත් දන්ත සෞඛ්‍යට බලපාපු විදි ගොඩක් තිබ්බා. උදාහරණයක් විදිහට අපි දත්කුඩු කියන එක පසුගිය දශකය ඇතුළත සහ ඊටත් කළින් සම්පූර්ණයෙන්ම වෙළෙඳපොළින් අයින් කරගන්න සමත්වුණා. මොකද දත්කඩු කියන්නේ ඉතාම හානිකර දෙයක්. මොකද ඒකේ රළු ගතිය ඉතාමත්ම වැඩියි. නමුත් පසුගිය ආර්ථික අර්බුද කාලේ මේ දත්කුඩු ආයෙත් වෙළෙඳපොළට එනවා. මොකද ජනතාවට මිලදී ගැනීමේ හැකියාව අඩු වුණා දත් බෙහෙත්වලට. ඒ වගේ හේතු නිසා අපේ මේ දන්ත සේවාවට මොනවා හරි රටේ ජනතාවගේ දන්ත සෞඛ්‍යට බලපෑමක් වෙලා තියෙනවාද කියන එකත් මේ 2026 කරන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණයේ ප්‍රතිඵලවලින් පිළිබිඹු වෙන්න ඉඩ තිබෙනවා.”
Saru News















