අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල ව ජුනි මස 03 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අද (21) දහවල් සැකකාර රමිත් රඹුක්වැල්ල ව අත් අඩංගුවට ගැනුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙසට ඊයේ අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරනු ලැබීමෙන් පසුවයි.
ඒ අනුව අත් අඩංගුවට ගැනුණු සැකකාර රමිත් රඹුක්වැල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදියි මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය ලබා දුන්නේ.
හිටපු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කරමින් අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්‍යය මණ්ඩලයේ වැටුප්, දීමනා හා අතිකාල වශයෙන් රුපියල් ලක්ෂ 80වකට අධික මුදලක් රජයට පාඩු කරමින් දූෂණය නමැති වරද සිදු කිරීම හා එම වරදට අනුබල දීම යන චෝදනා සැකකරුට එරෙහිව එල්ල වී තිබෙනවා.
Saru FM Media