ඉන්ධන ලබාගැනීමේදී භාවිතාකරන QR කේතයට අදාළ බොහෝ ගැටලු මේ වනවිට නිරාකරණය වෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, පෙර සිට QR කේතයක් තිබූ වාහනයක් හා එම අංකය නොවෙනස්ව පවතින අවස්ථාවල කිසිදු ගැටළුවක් නොමැතිව එම QR කේතය භාවිතා කළ හැකි බවය.
එසේම, වාහනය ඒකම වුවද අංකය අලුත් කර ඇති අවස්ථාවල, නව QR කේතයක් ලබාගැනීම සඳහා යම් කාලයක් ලබා දීමට සිදු වූ බවද ඔහු පැවසීය.
තවද, නව වාහන මිලදී ගත් අය සම්බන්ධයෙන් පැවති ගැටලු මේ වනවිට සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ඇති බවත්, එම ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
දැනට ඉතිරිව ඇති ප්‍රධාන ගැටලුව වන්නේ වාහනයේ අයිතිකරු වෙනස්වීම සම්බන්ධයෙනි. එවැනි අවස්ථාවලදී පෙර අයිතිකරුගේ QR කේතය ඉවත් නොකිරීම හේතුවෙන් ගැටලු ඇතිව ඇති අතර, එම ගැටලුවද මේ වනවිට නිරාකරණය කරමින් පවතින බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මේ අතර, පැයකට වාහන 30,000ක් පමණ පද්ධතියට ලියාපදිංචි වෙමින් පවතින අතර, එය සැලකිය යුතු ප්‍රගතියක් බවද ඔහු අවධාරණය කළේය. ඒ අනුව, QR කේත පද්ධතියට අදාළ ගැටලු බොහෝමයක් මේ වනවිට සාර්ථකව විසඳමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Saru News
















