NDB බැංකුවේ අභ්‍යන්තර මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවය.
NDB බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, මෙම සිද්ධිය හේතුවෙන් කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුම් හෝ තැන්පතුවලට බලපෑමක් සිදුවී නොමැති බවය.
සියලුම සේවාවන් සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද බැංකුව පවසයි.
මෙම වංචාව බැංකුවේ නිශ්චිත මෙහෙයුම් අංශයකට සීමා වූ අතර, එයට සේවකයින් කිහිප දෙනෙකුගේ සම්බන්ධතාවයක් හඳුනාගෙන ඇත. සිද්ධිය අනාවරණය වූ වහාම අදාළ සේවකයින් තාවකාලිකව සේවයෙන් ඉවත් කර ඇති අතර, සාක්ෂි සහ වාර්තා ආරක්ෂිතව රඳවාගෙන ඇති බවද සඳහන් වේ.
තවද, අදාළ අංශය දැඩි අධීක්ෂණයට යටත් කර ඇති අතර, අභ්‍යන්තර පාලන, වාර්තාකරණ හා ආරක්ෂණ පද්ධති තවදුරටත් ශක්තිමත් කරමින් පවතින බව බැංකුව පවසයි.
බැංකුව අනාවරණය කරන්නේ, අතිශය නරකම තත්ත්වයකදී වුවද, මෙම සිද්ධියෙන් සිදුවිය හැකි අලාභය 2026 මාර්තු 31 අවසන් වන කාර්තුව සඳහා රුපියල් බිලියන 4.0ක් පමණ බවයි.
කෙසේ වෙතත්, බැංකුවේ මූල්‍ය ශක්තිය තවදුරටත් ස්ථාවර බව අවධාරණය කරයි.
2025 වසර සඳහා බැංකුව රුපියල් බිලියන 11ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර, 2026 මාර්තු 31 වන විට සමස්ත වත්කම් පදනම රුපියල් බිලියන 990ක් පමණ වන බවද සඳහන් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර, අවශ්‍ය නියාමන අධීක්ෂණ සහ සහාය ලබාදී ඇත. නියාමන උපදෙස් අනුව, 2026 අප්‍රේල් 6 දින ගෙවීමට නියමිත මුදල් ලාභාංශය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, Scrip Dividend යෝජනාව සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වේ.
මෙම සිද්ධිය පිළිබඳ ස්වාධීන වෝහාරික විගණනයක් සිදු කිරීම සඳහා ස්වාධීන විමර්ශන විශේෂඥයෙකු පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.
NDB බැංකුව අවසානයේ සඳහන් කරන්නේ, විනිවිදභාවය, වගකීම සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා තම කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යන බවය.
මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තහවුරු නොකළ තොරතුරු, කටකතා හෝ අනුමාන ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසය.
Saru News
















