IMF අවශ්‍යතාවට අයවැය හැදුවාදැයි දැන් බලනවා

0
12

මීළඟ වාරිකය ලැබෙන්නේ ඒ අනුවයි – I.M.F. සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූලි කොසැක් කියයි

2026 වසර සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අයවැය අයිඑම්එෆ් ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව සකස් කර ඇත්දැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය විසින් මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව අයිඑම්එෆ් සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය පවසා ඇත. මෙම ඇගයීම ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම විධායක අධ්‍යක්ෂ මණ්ඩලයට විශේෂයෙන් වැදගත් වන බව ද ඇය කියා සිටියාය.

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව අයිඑම්එෆ් සන්නිවේදන අධ්‍යක්ෂිකාව කියා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේ පෙරේදා (13) පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කීවාය.

මීට මාසයකට පමණ පෙර පසුගිය ඔක්තෝබර් 9 වැනිදා ශ්‍රී ලංකාව සඳහා වන අයිඑම්එෆ් විස්තීර්ණ ණය මුදලේ පස්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් අයිඑම්එෆ් කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන්, කාර්ය මණ්ඩල මට්ටම් එකඟතාවකට පැමිණි බව ප්‍රකාශ කළ ඇය මෙම එකඟතාව අයිඑම්එෆ් විධායක අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත වූ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 347ක පමණ මූල්‍යකරණයක් සඳහා ප්‍රවේශය හිමි වන බව ද සඳහන් කළාය.

ඉදිරි සති කිහිපයේ දී ඒ සඳහා විධායක අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වනු ඇති බව අපේක්ෂා කරන බව ද කියා සිටි ඇය තවදුරටත් සඳහන් කළේ අයවැය ගැන කරන මෙම ඇගයීම විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාලෝචනය සඳහා විශේෂයෙන් වැදගත් වන බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here