ICC T20 ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ සංචාරය ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ඇරඹේ – Saru News | සිංහල

0
7

2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

අද (21) සිට 24 දක්වා දින හතරක් දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකදී මෙය ප්‍රදර්ශනය කෙරෙන අතර,

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගය අතරතුරදී ක්‍රීඩා ලෝලීන්ට මෙම රන් කුසලානය සමීපව දැකබලා ගැනීමට අවස්ථාව හිමි වේ.

ඉන් අනතුරුව, මහනුවර, දඹුල්ල සහ යාපනය යන නගර කරා ද කුසලානය රැගෙන යාමට සැලසුම් කර ඇති අතර, එම ප්‍රදේශවල වෙසෙන ක්‍රීඩා ලෝලීන්ටද ලෝක කුසලානය සමඟ සමරු ඡායාරූප ලබා ගැනීමට සහ එය දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. ලෝක කුසලාන තරගාවලියක් මෙරට පැවැත්වීමට පෙර ඒ සඳහා උද්‍යෝගය සහ ප්‍රේක්ෂක අවධානය ඉහළ නැංවීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.

ICC පන්දුවාර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම -සත්කාරකත්වයෙන් පෙබරවාරි 07 වන දා සිට මාර්තු 08 වන දා දක්වා පැවැත්වීමට නියමිතය.

2012 වසරේ පවත් වන ලද පන්දුවාර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරන දැවැන්තම තරගාවලිය වන්නේ මෙම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කාල සටහන එළිදැක්වීම ඉකුත් 2025 වසරේ නොවැම්බර් 25 වන දා ඉන්දියාවේදී සිදු කෙරුණු අතර, එහිදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ ලෙස, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය සහ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණය තෝරා ගන්නා ලදී.

ඒ අනුව, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තරග 08ක්ද, කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ තරග 05ක්ද, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාගංණයේ තරග 07ක්ද වශයෙන් පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලිය සඳහා රටවල් 20ක් සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලියේ තරග 20ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී පාකිස්තානු කණ්ඩායම සහභාගි වන සියලුම තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත. එසේම, අවසන් පූර්ව සහ අවසන් මහා තරග සඳහා සහභාගි වීමට පාකිස්තානු කණ්ඩායම වරම් ලදහොත් එම තරග දෙකේ සත්කාරකත්වයද ශ්‍රී ලංකාව විසින් දරනු ලැබීමද විශේෂත්වයකි. එසේ වුවහොත් අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එවිට ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 22 දක්වා ඉහළ යනු ඇත.

සත්කාරක රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හැරුණු කොට එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තානය යන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් මෙවර තරගාවලිය නියෝජනය කරන අතර,

ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉතාලිය, නෙදර්ලන්තය, නැමීබියාව, නේපාලය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මෙවර තරගාවලියට දායකත්වය දක්වන සෙසු රටවල් වේ.

2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම පන්දුවාර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය, රටේ ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට, ක්‍රීඩා සංවර්ධනයට, ජාත්‍යන්තර වශයෙන් ප්‍රචාරණයට සහ සමාජය පිළිබඳ ඵලදායී වටිනාකමක් ලබා දීමට හැකි වන විශිෂ්ට අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

වි‌ශේෂයෙන්, විදේශීය සංචාරකයින් ඇතුළු කණ්ඩායම්, මාධ්‍ය කණ්ඩායම් සහ දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් විශාල විදේශ විනිමය ආදායමක් රටට හිමිවනු ඇත. එසේම හෝටල් සහ ආහාර-පාන ව්‍යාපාර, ප්‍රවාහන සේවා, තාක්ෂණික සහ වැඩබලන සේවා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කෙටි සහ දිගු කාලීන රැකියා අවස්ථා උදා වනු ඇති බව අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ලෝකය හඳුනා ගැනීමත් සමඟ එමඟින් නව ආයෝජන අවස්ථා හිමි වීම මෙන්ම ශ්‍රී ලංකාව වසරේ සෑම මාසයකදීම ක්‍රීඩා සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුනා ගැනීමත්, ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය ප්‍රචලිත වීම වැනි දිගුකාලීන ප්‍රතිලාභ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය ලබා දීම මගින් හිමි වනු ඇත.

තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමති සුනිල් ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා අතුළු විධායක මණ්ඩලය සහ T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක, ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here