රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (9) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
සීමාවාසික පත්වීම් ලබාදීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය තම සංගමය සමග එකඟ වූ කොන්දේසි කඩකරමින් අදාළ පත්වීම් ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සංගමය පැවසීය.
මේ සම්බන්ධයෙන් ‘GMOA’ නිකුත්කළ නිවේදනය,
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය දේශපාලනීකරණයට ලක්කිරීමේ උත්සාහයන් හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් දියත් කරන ලදී.
ඒ අනුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
එහිදී එකඟතාවය වූයේ අදාල සාකච්ඡාව අවසන් වනතුරු ප්‍රශ්නගත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ලැයිස්තුව අත්හිටුවිය යුතු බවයි.
එහෙත් මේ වන විට අදාළ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත.
මෙය, යම් ගැටලුවක් සාකච්ඡාමය ප්‍රවේශයකින් විසඳගැනීමේ ක්‍රියාවලියේ මූලික ප්‍රතිපත්තීන් පවා උල්ලංඝනය කිරීමකි.
එමෙන්ම විශ්වාසය මත පදනම්ව ගැටළුවක් සාකච්ඡාවෙන් විසඳාගැනීම සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය උත්සහ කරන පසුබිමක, එම විශ්වාසය අමු අමුවේ කඩකරමින් මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීම පිළිගත නොහැකි සහ අතිශය සදාචාර විරෝධී ක්‍රියාවකි.
සෞඛ්‍ය අමාත්‍යවරයා රට තුළ නොමැති අවස්ථාවක මෙය සිදුවීම කිසිසේත්ම සුළුවෙන් බැහැර කළ නොහැක.
මෙම තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක සභාව, හෙට දින එනම් 09.04.2026 වන බ්‍රහස්පතින්දා දින උදෑසන 08සිට ආරම්භ වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී.
මෙම ප්‍රකාශයට පත් කරන ලද ලැයිස්තුව වහාම ඉවත් කර ගැටලුව විසඳීමට හෙට දින උදෑසන 08 දක්වා කාලය ඇති අතර, එසේ නොවන්නේ නම් වැඩ වර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන පීඩාවේ වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු වගකිවයුත්තන් සම්පූර්ණයෙන් භාරගත යුතුය.
Saru News















