GMOA සෞඛ්‍ය ඇමතිට හෙට උදේ 8 වෙනතුරු කල්දෙයි

0
4

වෛද්‍ය වර්ජනය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හෙට (06) උදෑසන 8 වන තුරු කල් ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අමාත්‍යවරයා අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වන බවත් ඒ නිසාවෙන් වර්ජන ක්‍රියාමාර්ගය දිග්ගැස්සෙන බවත් පවසන එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ අමාත්‍යවරයාගේ එකඟත්වය මත වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ තීරණය කිරීමට තම සංගමය සුදානම් බවය.

එමෙන්ම අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ප්‍රමාද වීම හරහා අගතියට පත්වන්නේ රෝගී ජනතාව වන බව ද  ඒ මහතා සඳහන් කර සිටියේය.

මේ අතර වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගැනීමේ බලය විධායක සභාවට පැවරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා,

“අපි දැනටත් සෞඛ්‍ය ඇමතිට කියලා තියෙන්නේ මේ රෝගී ජනතාව අපහසුතාවයට පත්කරන්න එපා. රෝගීන්ට වෛද්‍ය සත්කාරක සේවා ලබාගන්න බැරි වෙලා තියෙන්නේ, සෞඛ්‍ය අමාත්‍යවරයා තීන්දු තිරණ ගන්න මැලිවෙන නිසා. එතුමා දැන් තීරණය කරනවා නම් සාකච්ඡා මේසයට සුදානම් කියලා, අපිට ඒ මොහොතේ සිට ඉදිරියට වෘත්තීය ක්‍රියාමාර්ගවලින් අයින් වෙනවාද කියලා තීරණය කරන්න පුළුවන්. එතුමා තීන්දු තීරණ ගන්න ප්‍රමාද වෙනවා නම් ඒකෙ ප්‍රතිඵල, එකෙන් අගතියට පත්වෙන්නේ මේ රටේ රෝගී ජනතාව. ඒ නිසා අපි හෙට උදේ 8 වෙනකල් අවස්ථාව දීලා තියෙනවා සෞඛ්‍ය ඇමතිට ඒ අවශ්‍ය මැදිහත් වීම කරන්න. ජනාධිපතිතුමාට අවශ්‍ය මැදිහත්වීම කරන්න කියලා අපි දැනුවත් කරලා තියෙනවා. උදේ 8 වෙද්දි ඒ අවශ්‍ය මැදිහත්වීම කරන්න එකඟ වෙනවා නම් අපිට හෙට උදේට විධායක සභාවේදී තීරණය කරන්න පුළුවන් හෙට උදේ 8 වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරනවාද ? නැද්ද කියන කාරණය.”

වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුව සහ සේවා ස්ථාන මාරු ලැයිස්තුව දේශපාලනීකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත්වන බව පවසමින් ඊට විරෝධය පා රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කළ වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක කෙරුණි.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු මෙරට සියලුම රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හදිසි හා අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා හැර සෙසු ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගී පත්වූයේ දැඩි අපහසුතාකටයි. 

වර්ජනය හෙට පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම අද පස්වරුවේ ප්‍රකාශ කළේය.

මෙවන් පසුබිමක සෞඛය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රකාශ කළේ වර්ජනයේ නිරත පාර්ශ්වයේ ප්‍රධාන ඉල්ලීමක් වූ පශ්චාත් සීමාවාසික අවධියේ සිටි වෛද්‍යවරුන්ට පළමු පත්වීම සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබාදීමට සියලු කටයුතු සූදානම් බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here