FATHER චිත‍්‍රපටය – ගම්පහ ඔස්මන්ගේ කතාව නොවේ… – Saru News | සිංහල

0
2

චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කළ ෆාදර් චිත‍්‍රපටය මේ වනවිට ප්‍රේක්ෂක ආකර්ෂණය සහ කතා බහ ඉහළින්ම හිමිකර ගනිමින් සාර්ථකව තිරගත වේ. එම සාර්ථකත්වයට මූලිකම හේතුව එහි නිර්මාණ කාර්යය සාමුහික දායකත්වයෙන් සිදුකර තිබීම බව අධ්‍යක්ෂ චමින්ද ජයසූරිය යළි යළිත් අවධාරණය කර ඇත. චිත‍්‍රපටය නිර්මාණය කිරීම සඳහා විය පැහැදම් කර තිබෙන්නේ තවත් ලෙසකින් කියන්නේ නම් ප‍්‍රාග්ධනය සපයා ඇත්තේ ශාන්ත ගීතදේවය. මෙම කලා කෘතිය නිර්මාණය කිරීමට ඉහළම කැපවීමෙන් දායකත්වය ලබාදුන් සාමූහික බව පිළිබඳව වෙනම වෙනම කතා කිරීමට මෙම සටහන යොමු නොවේ. ඒ වෙනුවට චිත‍්‍රපටය තුළින් කියවෙන එහෙත් සාතිෂය බහුතරයක් ප්‍රෙක්ෂකයන්ගේ කතා බහට ලක් නොවෙන අත්‍යවශ්‍යම කේන්ද්‍රීය ප‍්‍රස්තුතය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මෙම සටහන ඒ වෙනුවෙනි.

මෙම සටහනට “ගම්පහ ඔස්මන්ගේ කතාව නොවේ” යන සිරස්තලය යෙදීම පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය දැඩිව යොමු වන බව පැහැදිලිය. චිත‍්‍රපටයේ ප‍්‍රධාන භූමිකාව ඔස්මන් නමින් වුවද ඒ ගම්පහ ඔස්මන් බව ප්‍රෙක්ෂකයන් හැමදෙනාම හොඳින් දන්නා දෙයක්ය. සටහනට සිරස්තලය ඉහත ආකාරයට යොදන ලද්දේද  ඒ නිසාමය. සමස්ත චිත‍්‍රපටය පුරාම

දිග හැරෙන කතා පුවත ”ගම්පහ ඔස්මන්” ගැන පමණක් කියවීමට පටුවී ඇති නිසාම මේ සිරස්තලය ඊට ප‍්‍රතිපක්ෂව දැමිණි.

චිත‍්‍රපටයෙන් කතා කරන්නේ ගම්පහ ඔස්මන්ගේ සත්‍ය ජීවිත කතාව නොවේ නම් වෙන මොකක්දැයි බොහෝ දෙනාට ප‍්‍රශ්නයක් පැන නගී. ඔව්, මේ කේන්ද්‍රීය චරිතය ගම්පහ ඔස්මන්ය. එසේ වුවත් ඒ ඔස්මන්ට වඩා ඉතා විශාල දෙයක් මේ තුළ ගැබ්වී පවතී. හරියට මුහුදේ තිබෙන අයිස් බග්ගයක් මෙන්ය. ඔස්මන්ගේ චරිතය පමණක් කෙරෙහි අවධානය යොමු කරන ප්‍රෙක්ෂකයන් හට නොපෙනෙන්නේ ඒ මහා විසල් කතාවය. විසල් කතාව තේරුම් ගැනීමට නම් මූලික කරුණු කිහිපයකට ඛණ්ඩනය කර කියවා ගත යුතුය. සෑම නිර්මාණයක්ම මෙලෙස ඛණ්ඩනය කළ නොහැකි අතර ඛණ්ඩනය කර කියවා ගැනීමේ ගුණයක් සහිත නිර්මාණ ඒ ආකාරයෙන් කියවා නොගැනීම නිර්මාණයට කරන අකටයුත්තකි. FATHER චිත‍්‍රපටය අත්‍යයන්තයෙන්ම ඛණ්ඩනය කර කියවා ගත යුත්තක්මය.

චිත‍්‍රපටය නැරඹීම

එය අධ්‍යයනය කිරීම

ඒ අදාළ සමකාලීන ආර්ථික, දේශපාලනික සමාජ හා සංස්කෘතික පසුබිම තේරුම් ගැනීම

එහි ගැඹුර සහ පළල තේරුම් ගැනීම

චරිත හා සිදුවීමේ එසේ වූයේ ඇයි ද,

යන්න කියවා ගැනීමේ ගෙදර වැඩ කොටසක් සහෘදයන් වෙත පැවරේ. චරිත හා සිදුවීම් එසේ වූයේ ඇයි? යන ප‍්‍රශ්න කිරීම් මෙහිදී අතිශයින් වැදගත්ය. FATHER චිත‍්‍රපටය විකාශනය වන්නේ ඔස්මන් (ගම්පහ ඔස්මන්) පොලිසිය, දේශපාලනඥයා කේන්ද්‍ර ගත කරගෙනය. අවශ්‍ය නම් තවත් කේන්ද්‍රයක් ලෙස “ඥාණෙ අයියා” වෙනම ම ගැනීමට ද හැකිය. එහෙත් ඥාණෙ අයියලාගේ පැවැත්ම (බිහිවීම නොවේ) අත්‍යන්තයෙන්ම දේශපාලනඥයා සහ පොලිසිය මත පරපෝෂිත වී තිබෙන්නේය.

සිනමා කෘතිය දිග හැරෙන නිශ්චිත කාල රාමුවක් පවතී. ඒ 1970 දශකය අග්ගිස්ස හා 1990 දශකය ආරම්භය දක්වා දශක එක හමාරක කාල රාමුවක්ය. එම කාලය තුළ ශී‍්‍ර ලංකාව නමැති මහ පොළව මත මිනිස් ජීවිත පිළිබඳ කතාව ගලා ගියේ කවර ආකාරයෙන්ද? යන්න හරියටම කියවා ගත  යුතුය.

ඒ 1977 මහ ඡන්දය පිළිබඳ උණුසම දෙගොඩ තලා උතුරා යමින් තිබූ ආසන්න පෙර සහ ආසන්න පසු කාලයයි. රැකියා විරහිත තරුණ පරපුරට විශාල වශයෙන් රට රස්සා, සිකියුරිටි, ගාමන්ට් දොරවල් විවෘතව නොතිබූ කාලයක්ය. (එහෙත් මුදල් ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක විවෘත ආර්ථිකය පිළිබඳ පුරෝගාමී සාකච්ඡාවට මුල පුරා තිබූ බවද අමතක නොකළ යුතුය.) ඔස්මන්ලාට පහසුවෙන් රස්සාවක් ලෙස තෝරා ගැනීමට තිබුණේ හමුදා සොල්දාදුවෙකු වීමයි. එහෙත් ඔහුට අභිමුඛවන “ඥාණෙ අයියලා” ඔවුන්ගේ අපේක්ෂා කුඩු පට්ටම් කර දමන්නන්  වූහ. “ඥාණෙ අයියලා” බිහිවූයේ අරක්කු රේන්ද ලබාගත් වලව් හාමුලාගේ මුර බල්ලන් ලෙසය. අරක්කු රේන්ද පමණක් නොව, එවකට තිබූ කොන්ත‍්‍රාත් වැඩ පොළවල්, මිනිරන් පතල්, බඩු ප‍්‍රවාහනය කරත්ත ආදියෙහි ශ‍්‍රමය වැගිරූ මිනිසුන් හා ගැහැණුන් බයකර පාගාගෙන කුලිය නොගෙවා සිටීමේ මුරබල්ලන් ලෙස කි‍්‍රයා කිරීමෙන් ඥානෙ අයියලා බිහිවිය.

එදා සිටි මෙන්න මේ “ඥාණෙ අයියලා දශක පහක් තුළ, ගෝනවල සුනිල්, සොත්ති උපාලි, බැද්දගානේ සංජීව, ජූලම්පිටිය අමරේ” දක්වා එක් ධාරවකින් විකාශනය වූ අතර එහිම තවත් ධාරාවකින් පොලිසිය මෙහෙයවීම, කොළ කොටි, කළු බළල්ලූ, මාපිල්ලු, ප්‍රා වැනි ඝාතන කණ්ඩායම් දක්වා අඛණ්ඩව දියත් කර, යුද්ධය අවසන් වී වසර දෙකකටත් පසු 2011 තරම් මෑතකදී කප්පම් සඳහා තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම දක්වා දිග හැරිණි. එහිම තවත් අඛණ්ඩයක් පාස්කු ප‍්‍රහාරය දක්වා ද බූවල්ලකු බවට පත් විය. ඥාණෙ අයියලාගේ භාවිතයේදී පමණක් නොව මතවාදී තලයේදී සිංහලේ, මහ සොහොන් බලකාය, බොදු බලසේනා, වඳ කොත්තු, වඳ බ්‍රෙෂියර්, පැලෝපීය නාල මිරිකීම හරහා කැලණි ගෙඟන් නාගයෙක් මතු වීම දක්වාද කි‍්‍රයාත්මක වූ බව අමතක නොකළ යුතුය. උත්තරීතර පාර්ලිමේන්තුවද ඔවුන්ගේ ක්ෂේම භූමියක් බවට පත්කරනු ලැබීය. “මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ප‍්‍රසන්න රණතුග, ප‍්‍රසන්න රණවීර යන සංඥා නාමයන් තුළ ගැබ්වී තිබෙන්නේ “ඥානේ අයියලාගේ” ලේ ය. ජානය.

මේ ඥානේ අයියලාගේ පැවැත්ම මයිකල් විජේසේකර මන්තී‍්‍රතුමා සහ ධම්මික ඕ.අයි.සී. මහත්තයලාගේ රැකවරණය සහ මෙහෙයවීම මත තීරණය විය. ශී‍්‍ර ලංකාවට සර්වජන ඡන්ද අයිතිය ලැබී ස්වර්ණ ජයන්තිය සම්පූර්ණ වූ 1981 දී සංවර්ධන සභා ඡන්ද කොල්ලය දියත් කිරීමෙන් සැමරීය. යාපනය පුස්තකාලය ගිනි තබා හළු කිරීමට ඥානේ අයියලා මෙහෙයවීම, විපක්ෂ නායකව සිටි අප්පා පිල්ලෙ අමිර්තලිංගම් හේතු රහිතව යාපනයේදී අත්අඩංගුවට ගෙන පනාගොඩ හමුදා කඳවුරට රැගෙන විත් රඳවා තබාගෙන පසුව නිදහස් කිරීම දක්වා එම ස්වර්ණ ජයන්ති සැමරුම “වීර වික‍්‍රමාන්විත” කි‍්‍රයා දාම රැසකින් යුක්ත වීය. 1977 මහා මැතිවරණයේදී ජේ.ආර්. ජයවර්ධන ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ලබාදුන් “ධර්මිෂ්ඨ සමාජයක් බිහි කිරීම” ප‍්‍රායෝගිකත්වයට නැගීමේ තුන්වන පියවර මේ ලෙස තැබීය. පළමු පියවර පශ්චාත් මැතිවරණ පළිගැනීම් තුළින් ජීවිත බිලි ගැනීම් සහ ලේ වැගිරීම්ය. දෙවැන්න 1977 අගෝස්තු මාසයේදී දෙමළ ජනතාවට එරෙහිව දියත් කළ ‘ජාති ආලය’ ලේ පිපාසය හා ජීවිත බිලි ගැනීම්ය.

චිත‍්‍රපටයේ ඔස්මන්ට අභිමුඛ වූ “ඥාණේ අයියලා” ගැම්මට ඇල්ලුවේ මෙලෙසය. එදා පොදු ජන සමාජයට ඥාණෙ අයියලා දශම ගණනක් වුවද මහා පිල්ලියක් විය. තමන්ගේ පාඩුවේ රස්සාවක් කරගෙන කාගෙන්වත් පදයක් නොඅසා ජීවත් වීමට අපේක්ෂා කළ ඔස්මන් අයියලා අති විශාලම බහුතරයක් වී සිටියහ. ඔස්මන් අයියලා, ඥාණේ අයියලා පිළිබඳ හරියටම දේශපාලනිකව කියා ගත් චිත‍්‍රපටයේ කතා නොකරන පිරිසක් ද එදා සිටියහ. ඒ පිරිස වඩාත් දියුණු සාමූහික සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ජීවිතයක් පිළිබඳ සිහින දුටු පිරිසක්ය. කොටින්ම වමේ ව්‍යාපාරයේ පිරිසක්ය. එහි නව ජන්මයක් ලබා සිටී. ජනතා විමුක්ති පෙරමුණ විශේෂිතය. 1977 මහා මැතිවරණයේ ආසන හතරක් වෙනුවෙන් අපේක්ෂකයන් ඉදිරිපත් කර, ඉතාම සුළු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන තිබිණි.

ෆාදර් චිත‍්‍රපටය ගැන තැබෙන මෙම සටහනට ජනතා විමුක්ති පෙරමුණ අහසින් පාත්කර ගත්තා නොවේ. 1977 මහ මැතිවරණයෙන් පසුව 1981 සංවර්ධන සභා මැතිවරණයට ඉදිරිපත් වූ එම පක්ෂයේ මන්තී‍්‍ර ධුර 13ක් අත්කර ගත්තේය. මයිකල් විජේසේකරලාගේ ලොක්කා ඥාණෙ අයියලා යොදවා එම ඡන්දය කොල්ල කෑම යාපනයට පමණක් සීමා වූ වක් නොවේ. දකුණුටද එසේම අදාළය. 1982 ජනාධිපතිවරණය, එම වසරේදීම පැවැත්වූ ජනමත විචාරණ ඡන්ද මංකොල්ලය, 1983 වසර මුලදී පැවැත්වූ මහර අතුරු මැතිවරණය ඇතුළු ආසන ගණනාවක අතුරු මැතිවරණ සියල්ලම අඩු වැඩි වශයෙන් ලේ වැගිරීමේ සහ ජීවිත බිලි ගැනීමේ රාජ්‍ය ත‍්‍රස්තවාදය පැතිර වූ භීෂණය අරක්ගත් ඒවාම විය. ජනාධිපතිවරණය සහ විශේෂයෙන් ජනමත විචාරණ ඡන්ද මංකොල්ලයට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කර තිබූ ඡන්ද පෙත්සම් සම්බන්ධ සමස්ථ මතිවරණ කි‍්‍රයාවලිය තුළ ජ.වි.පෙ සකී‍්‍රය ප‍්‍රමුඛතම බලවේගයක්ව තිබුණේය.

මයිකල් විජේසේකර මන්තී‍්‍රතුමා, ඥාණෙ අයියා සහ ඕ.අයි.සී. ධම්මික අභිමුඛ වූයේ ඔස්මන් අයියාට පමණක් නොවේ. ඊට වඩා වැඩි විශාල බර තැබීමකින් ජවිපෙට ඔවුන් අභිමුඛ විය. ඒ නිසයි FATHER චිත‍්‍රපටයේ ගෑවී හෝ නොමැති ජ.වි.පෙ මෙම සටහනට අදාළ වන්නේ.

“කෙළිය නේද තරුණ කැළ” යනුවෙන් තග දාන ඕ.අයි.සී. මහත්තයා ගැන ඔබට මතකය. ප‍්‍රදේශයේ පවත්වන සංගීත රාති‍්‍රයේ නීතිය හා සාමය පවත්වාගෙන යාම පිළිබඳව තීන්දු තීරණ ගන්නේ “ඥාණෙ අයියා”ය. සංවිධායකයන් ඒ බව පොලීසියේ ඕ.අයි.සී. මහතාට පැවසූ අවස්ථාවේ එම ඕ.අයි.සී. මහත්තයා ඥාණෙ අයියා ගැන තක්සේරුවකට පැමිණියේය. සංගීත රාති‍්‍රයේදී ඇති කර ගත් ගුටි කෙළිය අන්තිමේ නතර වන්නේ මේ ඕ.අයි.සී. මහත්තයා ළඟය. ඔස්මන් අයියා, ඥාණෙ අයියා ඇතුළු සියලු දෙනා පොලිසියට කුදලා ගෙන විත් කිසිදු වෙනසක් නැතිව, කවුරුත් පෙළ ගස්වා තබන්නේ මේ ඕ.අයි.සී. මහත්තයාය. එවැනි නීතිය කාටත් අකුරටම කි‍්‍රයාත්මක කරන පොලිස් නිලධාරින්ගේ යුගය අවසන් කිරීමට ජේ.ආර්. ජයවනර්ධන ආණ්ඩුව මූලික පියවර ගෙන තිබුණේ 1977 අවසානයේ දීමය. ඒ “සහායක පොලිස් බලකාය” නමින් තම පාක්ෂික ග‍්‍රාමීය මැරයන් පොලිසියට බඳවා ගැනීමෙන්ය. එවැනි පොලිසියක් තිබීම ඥාණෙ අයියලාටත් මයිකල් විජේසේකර මන්ති‍්‍රලා සහ අනෙකුත් මැති ඇමතිවරු සියලු දෙනාට ඉවසුම් නොදෙන්නක්ය.

මේ නිසා රාජකාරිය පක්ෂ පාට භේදයකින් තොරව කි‍්‍රයාත්මක කරන ඕඅයිසීලා පොලිසි තුළින් පන්නා දැමීය. ගඩාපිලා, උඩුගම්පොලලා, ධම්මිකලා පොලිසිවල මුල් පුටුවලට පමණක් නොව ඉහළම නිලධාරීන් දක්වා පත්කරනු ලැබීය. මයිකල් විජේසේකර යනු ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක වී සිටියදී තම බෑනාව තම වැයික්කියේ පොලිස් ලොක්කා කර ගැනීමේ බලයක් තිබූ අයෙකි. මෙන්න මෙවැනි පොලිස් ලොක්කන්ගේ පැවැත්ම ඕ.අයි.සී ධම්මකට වෙඩි තබා මරා දැමීමෙන් අවසන් නොවීය. එසේම එවැන්නන්ගේ කි‍්‍රයාකාරිත්වය වවුල් කැලේ මිනීවල වසා දැමීමෙන් අවසන් නොවීය. වාස් ගුණවර්ධනලා තුළින් තවත් ආකාරවලින් කි‍්‍රයා කෙරිණි. බන්ධනාගාර තුළට ගොස් රැඳවියන්ගේ නම් කතා කරමින් ඝාතනය කිරීම දක්වා තවත් පැත්තකින් කි‍්‍රයාන්විත දියත් කෙරිනි. එයිනුත් නොනැවතී දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති කරවීම දක්වාද කි‍්‍රයාත්මක විය.

අනෙක් පැත්තෙන් මයිකල් විජේසේකර මන්තී‍්‍රලාගේ භූමිකාව පාස්කු දා ප‍්‍රහාරයේ දඩයම කරේ තියාගෙන යාම දක්වා ඉහළම තත්වයකට ගෙන ආ බව අමතක නොකළ යුතුය. මයිකල් විජේසේකරලාගේ පරිණාමයේ කඩඉම් වූයේ 1981 සංවර්ධන සභා ඡන්ද කොල්ලය 1983 කළු ජූලිය මූලික කර ගනිමින්ය. එය කිසිවෙකුටත් හිතා ගත නොහැකි පාස්කු දින ප‍්‍රහාරය දක්වා අත්වැල් බැඳ ගැනීමක් යටි බිම් තලයේ දියත් වූ බව මේ වනවිට තහවුරු වී තිබේ. 1977 මහ මැතිවරණය, 1981 සංවර්ධන සභා ඡන්දය, 1982 ජනාධිපතිවරණය, එම වසරේම ලාම්පු කළගෙඩි ඡන්ද කොල්ලය සහ 1983 මුලදී පැවැත්වූ අතුරු මැතිවරණය යන මැතිවරණ පෙරමුණේ පමණක් නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහයේ අතු ඉති විහිදී ගිය සියලුම අංශවල පුළුල් කි‍්‍රයාකාරිත්වයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කර තිබුණි. විශේෂයෙන්ම ජනමත විචාරණ ඡන්ද කොල්ලයට එරෙහිව ජ.වි.පෙ. ඉදිරිපත් කර තිබූ ඡන්ද පෙත්සම ජේ.ආර්. ජයවර්ධනගේ බලය පරාජය වන, තීරණාත්මක කඩඉමක් බවට ඒ වන විට කරුණු තහවුරු වී තිබුණි. 1983 කළු ජූලිය පිට දමා ජ.වි.පෙ. තහනම් කරන්නේ මේ නිසාය. ඊට සමාන්තරව 1987 – 1990 දක්වා සන්නද්ධ ප‍්‍රතිචාර දැක්වීම්වලට ජ.වි.පෙ. ඇද දැමූයේ ඒකාධිපති වියරුව විසින්ය.

තවත් පැත්තකින් හඹාගොස් මර්දනය කිරීම දියත් කර තිබුණේ ජ.වි.පෙ. පමණක් ඉලක්කය කරගෙන නොවේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයටද එසේමය. වවුල් කැලේ ටයර් සෑයේ නොදැවී නූලෙන් ජීවිතය බේරා ගත් රතු ගාමිණී තුළින් ප‍්‍රබල ලෙස සංකේතවත් කෙරෙන්නේ ශී‍්‍ර ලංකාකාරයන් මුහුණ දී සිටි ඒ බිහිසුණු තත්වය පිළිබඳවය. අවි බලය යොදවා මේ පිරිස මර්දනය කිරීමට පෙර 1980 ඔක්තෝබර් මාසයේදී සිරිමා බණ්ඩාරනායකගේ ප‍්‍රජා අයිතිය අහිමිකර ඇය මන්ති‍්‍ර ධුරයෙන් නෙරපා හැර සිටි බවද අමතක නොකළ යුතුය. 1983 ජනවාරියේ පැවැත්වූ ආසන කිහිපයක අතුරු මැතිවරණ අතරින් මහර කෙරෙහි මෙරට පමණක් නොව විදේශීය නිරීක්ෂකයන්ගේ පවා විශේෂ අවධානය යොමු වී තිබූ බව නිසැකය. එම ආසනයට විජය කුමාරතුංග ඉදිරිපත් වී සිටීම නිසාය. එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරපත් කර තිබූ ආචාර්ය කමලවර්ණ ජයකොඩි දිනන තුරු ඡන්ද නැවත නැවත ගණන් කරන ලෙස ජේ.ආර්. ජයවර්ධනගේ ඍජු නියෝග ලබාදී තිබිණි. රතු ගාමිණීලා දක්වා දිග හැරෙන්නේ මේ මර්දනයේ රුදුරු හස්තයයි.

ජ.වි.පෙ. 1977 මහ මැතිවරණය ඉදිරිපත් වූ ඡන්ද පෙරමුණ 1983 ජූලි මස, පක්ෂය තහනම් කිරීමෙන් අවසන් නොවීය. 1988 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම දක්වා එම අරගලය ගෙන ගියේ රුදුරු මර්දනය මැදය. එම මර්දනයේ අවසානය 1990 දශකය මුල වන විට සනිටුහන් වී තිබිණි. වවුල් කැලේ ටයර් සෑය දැල්වී දොළොස් දෙනෙකු පුච්චා මරා දමන්නේ ඒ අතරය. ඕ.අයි.සී. ධම්මිකගේ මෙහෙයීමෙන් ඝාතනය කළ මිනිස් ජීවිත සංඛ්‍යාව 12ක් පමණක් නොවේ. එය 263ක් බව හෙළිවී තිබේ. නීතියේ යුක්තිය, සමාජ සාධාරණත්වය, මිනිස්කම, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය මුළුමනින්ම මර්දනය කිරීමේ තවත් අදියරක් 1990න් පසුව ආරම්භ කර තිබිණි. තේරුම් ගැනීම පහසුවන සේ ආසන්න නිදර්ශනයකින් කියන්නේ නම්, 2009 මැයි මස යුද්ධය අවසන් කළ පසු සුදු වෑන් ඝාතක කණ්ඩායම්, කප්පම් ගැනීමේ කණ්ඩායම් මෙන්ම බොදු බලසේනා වැනි කණ්ඩායම් දිගේලි කළ ආකාරයන්ය. තවත් ලෙසකින් කියන්නේ නම් 1987 – 1990 දක්වා ජ.වි.පෙ. සමූල ඝාතනය කිරීම නතර නොවූ බවය. වෙනත් ඉලක්ක වෙත මර්දනයේ අවි එසවී තිබිණි.

FATHER චිත‍්‍රපටයේ කතා නායක ඔස්මන් නැති නම්, ගම්පහ ඔස්මන්ගේ කි‍්‍රයාකාරිත්වය කප්පම් ගැනීමට එරෙහිව සටන් කිරීම, වාසු නමැති පාතාලයාගෙන් තම දියණියන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකිව මව් පියන් අසරණ වී සිටියහ. ඒ අයට පිහිට වූයේ ඔස්මන් අයියා ය. එවැනි ප‍්‍රතිකි‍්‍රයාවලින් ඔස්මන්ගේ කි‍්‍රයාකාරිත්වය වෙනත් අදියරකට කැඳවූයේ නීතියේ යුවතිය පළවා හැර තිබූ නිසාය. ජ.වි.පෙ. සන්නද්ධ කැරැල්ල මර්දනය කිරීමෙන් පසු ඔස්මන් අයියාට අවනීතියට එරෙහි හුදෙකලා සටනක් දියත් කිරීමට බල කෙරී තිබිණි. ඒ ඔස්මන්ගේ මල්ලී ද වවුල් කැලේ සෑයේ දවා හළු කිරීම නිසා පමණක්ම නොවේ. මිනිස් ජීවිතවලට පාඩුවේ ජීවත් වීමේ අවස්ථාව පෙනෙන තෙක් මානයේ නොවූ පසුබිමකය. ජපානයේ රස්සාවක් කර ගෙන සිටි ඔස්මන් හොර පාස්පෝර්ට් එකකින් ලංකාවට එන්නේ ඉලක්කයක් ඇතිවය. ඒ ඉලක්කය 1991 නොවරම්බර් 25 වැනි දින අධිකරණ ශාලාව තුළදී සපුරා ගන්නේ ඕ.අයි.සී. ධම්මික සහ මන්තී‍්‍ර මයිකල් විජේසේකර ඝාතනය කිරීමයි.

ගම්පහ ඔස්මන්ගේ චරිතය සිනමාවට ගැනෙන්නේ මෙන්න මේ ද්විත්ව ඝාතනය සිදු කළ නිසාය. එම ඝාතන පිටුපස තිබෙන්නේ ඒ වනවිට දශක එක හමාරකට ආසන්න කාලයක් තුළ මෙරට අස්සක් මුල්ලක් නෑර දියත් කර තිබූ පාදඩ දේශපාලනය රජ කරවීමේ ධවල භීෂණය පිළිබඳ කතාවය. මිනිස් ජීවිතවල අගය අහිමි කිරීම පිළිබඳ කතාවය. නිදහස් නිවහල් ධර්මිෂ්ඨ සමාජයක් රට පුරා ඇවිල වූ ටයර් සෑයවල් මතින් බිහි කිරීමේ ඛේදනීය දේශපාලන උත්ප‍්‍රාසය පිළිබඳ කතාවය. මෙම සිනමා කෘතියෙන් නිශ්චිතවම සටහන් කරන 1976 – 1992 කාලය අප කියවා ගත යුත්තේ සිනමා කෘතිය තුළින් ලබා දෙන ප‍්‍රබල සංකේතීය දේශපාලන සිදුවීම් හා චරිත විනිවිද දැකීමෙනි. චමින්ද ජයසූරිය සිනමා කෘතිය ගොඩනැගීමේ ආකෘතිය තුළින්ද මෙම පසුබිම කියවා ගැනීමට නිහඬව යෝජනා කර තිබේ. කෘතිය ආරම්භ වන්නේ ගම්පහ ඔස්මන්ව ඝාතනය කිරීමට 2017 දී දරන ලද ප‍්‍රයත්නය අසාර්ථක වීම තුළින්ය. එය අවසන් වන්නේ ඔස්මන් 1992 දී සිදු කළ ද්විත්ව ඝාතනය පිළිබඳ පුළුල් සංවාදයකට පේ‍්‍රක්ෂකයා කැඳවීමෙන්ය. සත්‍ය වශයෙන්ම ගත හොත් සිනමා කෘතිය තුළ ඔස්මන්ගේ චරිතය කියැවෙන්නේ මේ ආරම්භක අවස්ථාව සහ අවසාන අවස්ථාව තුළින් පමණි.

එම ආරම්භය සහ අවසානය අතර දශක පහකට ආසන්න කාල පරාසය විවෘත මනසකින් කියවා ගන්නා ලෙස පේ‍්‍රක්ෂකයාට ඇරයුම් කිරීම බඳු අවකාශයක් සලසා තිබේ. දශක එක හමාරක මෙරට දේශපාලනික සමාජ සංස්කෘතික පාදඩකරණය පිළිබඳව මෙන්ම නීතිය බිය වද්දා පළවා හරින ලද සමස්ත කි‍්‍රයාවලිය සඳහා අඩිතාලම දැමූ ආකාරය ඉතා අපූරුවට නිරූපණය කර තිබේ. තවත් ලෙසකින් කියන්නේ නම්, මේ රටේ දශක පහකට ආසන්න ම්ලේච්ඡත්වය කිරුළු දැරීමට දශක එක හමාරක තුළදී අඩිතාලම දැමීම පිළිබඳ කතාව ඔස්මන් පසුබිමේ පවතී. එදා 1977 සිට දශක පහකට ආසන්න කාලයක් පුරා මේ බිමේ රජ කරවූ පාදඩ අදේශපාලන සංස්කෘතිය, ම්ලේච්ඡ දේශපාලන සංස්කෘතිය වසරකින් නිමා කළ නොහැකි වීමේ වේදනාවෙන් පොදු සමාජයම අද වනවිට පෙළේ. FATHER චිත‍්‍රපටය ගම්පහ ඔස්මන් අයියාගේ කතාව නොවෙන්නේ මෙන්න මේ දශක පහක කාලය නිරාවරණය කර පෙන්වීම නිසාය. මේ උපත සිදුවූ සමස්ත කි‍්‍රයාවලිය පිළිබඳව සිනමාත්මකව ප‍්‍රතිනිර්මාණය කිරීමට දායක වූ සැමටම ආචාරය පිරිනැමේ !

ලලිත් ප්‍රියදර්ශන දයාරත්න


2

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here