Euromoney Awards for Excellence 2025 විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ පාරිසරික, සමාජයීය සහ පරිපාලනය (ESG) සඳහා හොඳම බැංකුව වශයෙන් සම්පත් බැංකුව ගෞරව බහුමානයට ලක්ව තිබේ.
සිංගප්පූරුවේදී උත්සවාකාරයෙන් පැවති මෙම සම්මාන උළෙලේදී, සිය මූලෝපායයන් සඳහා තිරසාරභාවය ඇතුළත් කිරීම සහ සියලුම කොටස්කරුවන් සඳහා දිගුකාලීන වටිනාකමක් එකතු කිරීම සම්බන්ධයෙන් සම්පත් බැංකුව, ගෝලීයව හා කලාපීය වශයෙන් පිළිගත් බැංකු සහ මුල්‍ය ආයතන සමූහයක් අතරට ස්ථානගත වීම එහිදී කැපී පෙණුනි.
Euromoney විශිෂ්ටතා සම්මාන සඳහා ඉදිරිපත් කිරීමේදී සම්පත් බැංකුව 2024 වසරේ සිට ප්‍රධාන තිරසාරත්ව සංධිස්ථාන කිහිපයක්ම ප්‍රදර්ශනය කර තිබුණි. එහිදී හරිත මුල්‍යකරණ වැඩසටහන ඔස්සේ බලශක්ති ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 1.44 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 4.78ක්) යෙදවීම, පිරිසිදු බලශක්ති ප්‍රවේශයක් සඳහා සූර්ය ණය සහන දියත් කිරීම සහ සේවකයින් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 1,418 දෙනෙකු ESG පුහුණුව යටතේ සන්නද්ධ කිරීම යනාදිය ඊට ඇතුළත් විය. මෙම අභ්‍යන්තර මුලපිරීම් මගින් බැංකුවේ කාබන් පියසටහන 8% කින් අඩු කිරීමට සහ ශාඛා ජාලය හරහා සූර්ය බලශක්ති උත්පාදනය 36%කින් වැඩි කිරීමටද සම්පත් බැංකුව දායක විය. ඊට අමතරව සම්පත් බැංකුව අපද්‍රව්‍ය අවම කිරීමේ පිළිවෙත් සඳහා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් ප්ලාස්ටික් භාවිතය අඩු කිරීමේ අරමුණින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ලෝහ ක්‍රෙඩිට් කාඩ්පත් ද හඳුන්වා දුන්නේය.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් සම්පත් බැංකුවේ යෝජිත කළමනාකාර අධ්‍යක්ෂ සංජය ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. Euromoney විසින් ශ්‍රී ලංකාවේ හොඳම ESG බැංකුව ලෙස පිළිගැනීමට ලක් කිරීම සම්පත් බැංකුවට අතිශය වැදගත් මොහොතක්. තිරසාරභාවය අපගේ ව්‍යාපාරයේ මූලීකාංගයක් බවට පත් කිරීමට සහ රටේ තිරසාරත්වය සඳහා දක්වන අඛණ්ඩ කැපවීමද මෙම ජයග්‍රහණය ඔස්සේ පිළිඹිබු කෙරෙනවා. ආයතනික පරිපාලනය, හරිත මුල්‍යකරණය, නිෂ්පාදන නවෝත්පාදනය සහ ශක්‍යතාවන් වර්ධනය සඳහා වූ අපගේ මුලපිරීම්, ශ්‍රී ලංකාවේ තිරසාරත්ව අනාගතයක් නිර්මාණය කිරීමෙහිලා සිදු කරන දීර්ඝකාලීන ආයෝජනයන්ය. අප ලද මෙම සම්මානය සම්පත් බැංකු කණ්ඩායම, සමඟ විශ්වාසයෙන් යුතුව අත්වැල් බැඳගෙන සිටින අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට, කොටස්කරුවන්ට හා අනෙකුත් පාර්ශ්වකරුවන්ට පිදෙන උපහාරයක් ද වෙනවා.
Saru FM Media