Divorce වෙන්නෙ අම්මලා තාත්තලම විතරද?

0
4


“සමහර ප්‍රශ්න එක්ක අම්මල තාත්තලට ඩිවෝස් වෙනවට වඩා වෙන ඔප්ශන් එකක් නැතිවෙන්න පුලුවන්. දරුවො වෙනුවෙන් අම්මල තාත්තල නොගැලපෙන තැන්වල නතරවෙලා දුක් විඳින්න උවමනාවක් තියෙනව කියල මම කියන්නෙ නෑ. පෙත්මලී එක්ක කතා කරද්දි හිමින් සැරේ එයාගෙ හිතේ තියන දේ අහගනිද්දි මට තේරිච්ච දේ තමයි ඔය දෙන්නගෙ ඩිවෝස් එකට කලින් පෙත්මලී ඔයාලා දෙන්න මැද්දෙ ඇත්තටම හරි සන්තෝසෙකින් ඉඳල තියෙනව. ඒ කියන්නෙ ඔය දෙන්න අතරෙ මොන ප්‍රශ්නයක් තිබුනත් ඔය දෙන්නා ඒක දරුවගෙ ඔලුවට දාලා නෑ කියන එක ඇත්තටම මට පෙත්මලීගෙ පැත්තෙන් කතාවයි ඔයාලා දෙන්න කියන කතාවයි ඇහුවම මට තේරුනා. හැබැයි ඔයාලා දෙන්න එච්චර හොඳ දෙමව්පියො දෙන්නෙක් වෙලා ඉඳල ඩිවෝස් එකෙන් පස්සෙ ඒ ලෙවල් එක මේන්ටේන් කරපු නැති එක තමයි ඇත්තටම මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ.”

*Smartlady.lk වෙබ් අඩවියේ පළ වූ වියෝ ගී ගැයෙනා හදේ නවකතාවේ උපුටනයකි*

අද කාලෙ Divorce වෙනවා කියන එක හරිම සුලබ දෙයක් වෙලානෙ. විවිධාකාර හේතු නිසා කසාද දික්කසාද වලට යන්න කට්ටිය තීරණය කරන්නෙ හරිම පහසුවෙන්. දෙන්නෙක්ට දික්කසාද වෙන්න සාධාරණ වගේම විවිධාකාර හේතු තියෙන්න පුලුවන්. අපිත් මිනිස්සුනෙ. හැබැයි ජෝඩුවක් දික්කසාද වෙනවට වඩා අමාරුයි දරුවො ඉන්න අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දික්කසාද වෙන එක. මොකද දික්කසාදෙ බලපාන්නෙ කසාද බැඳපු ජෝඩුවට විතරයි කියල අපි හිතුවට ඒක එහෙමම වෙන්නෙ නැති හන්දා.කසාද බැඳලා දරුවො ඉන්න ජෝඩුවක් දික්කසාද වෙනවනම් ඒ දරුවන්ගෙ වයස කුමක් උනත් ඒ දික්කසාදය දරුවන්ට නරක විදියට බලපාන්න ලොකු ඉඩක් තියෙනව අපි ඒ situation එක හරියට handle කරේ නැත්තම්.

අම්මා තාත්තා දික්කසාද වෙනව කියන එක දරුවන්ට ලොකුම ලොකු බලපෑමක් ඇති කරන දෙයක්. ඒත් ඒක දරුවන්ගේ වරදකින් වෙන දෙයක් නෙවෙයි. කසාද බැඳපු ජෝඩුවකට තමන්ගෙ ජීවිතේ ගැන තීරණයක් අරගන්න, විවාහයෙන් වෙන් වෙන්න අයිතියක් තියෙනවා. හැබැයි එහෙම තීරණයක් ගනිද්දි ඒ තීරණය තමන්ට බලපාන්නෙ කොහොමද කියන එක විතරක් හිතලා හරියන්නෙ නෑ. තමන් එහෙම තීරණයක් අරගන්න එකෙන් දරුවන්ට හිතේ වැඩි බරක, බයක්, තනිකමක්, දුකක් දැනෙන්න පුළුවන් කියන එක කිසිසේත්ම අමතක කරන්න එපා.

දරුවන්ට මේ ගැන පැහැදිලි කරලා, ඔවුන්ට ආදරෙයි කියලා, ඔවුන්ගේ ජීවිතේ වෙනස් වෙන දේවල් ගැන කියලා, ඒ හැමදේම ලේසියෙන් පිළිගන්න උදව් කරන්න දෙමාපියන්ට වගකීමක් තියනවා මේ වගේ තීරණයකට යද්දි.

ඇත්තටම මේ වගේ අවස්තාවකදි මේ තත්ත්වය අපි කොහොමද දරුවන්ට තේරුම් කරලා දෙන්නෙ?

ඕනෑම දෙමව්පියෙකුට ඇති විය හැකි දුෂ්කරම සංවාදවලින් එකක් තමයි දරුවන් එක්ක තමන්ගෙ දික්කසාදය ගැන කතාකරන එක. ඉතින් මෙන්න මේ වගේ තැනකදි දරුවට අනිවාර්‍යෙන්ම කියන්න ඕන Must Tell Points 6ක් තියෙනවා. ඒ කරුණු 6 ගැන රොසලින්ඩා සෙඩාකා කියන දික්කසාද සහ දෙමාපිය පුහුණුකාරිනිය තමන්ගෙ පොතේ කියනවා.

1. මේක ඔයාගේ වරදක් නෙවෙයි. අම්මයි තාත්තයි අතර ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අපි සමහර ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් එකඟ වෙන්නේ නැහැ, ඒ නිසා ගැටුම් ඇති වෙනවා. හැබැයි ඒ කිසිම ප්‍රශ්නයක් ඔයා විසින් ඇතිකල ඒවාවත් ඔයා නිසා ඇති උන ඒවාවත් නෙවෙයි. ඔයා අපි දෙන්නම ආදරේ කරන අහිංසක දරුවෙක්. අම්මයි තාත්තයි ඔයාගේ නින්ද ගැන, නිවාඩුවට කොහෙද යන්න ඕන, ගෙදර වැඩවලට උදව් කරන්නේ කොහොමද, කියන එක ගැන ඉස්සරහටත් දැන් වගේම හිතනවා. අපි ඔයා ගැන කියලා රණ්ඩු වෙන්නේ නැහැ. ඔයාටයි අපේ පවුලටයි බලපාන කාරණා සම්බන්ධයෙන් අපි එකිනෙකා සමඟ එකඟ වෙන්නේ නැහැ. මේ තීරණය අරගන්නෙ අන්න ඒ නිසා.

2. අම්මයි තාත්තයි හැමදාම ඔයාගේ දෙමව්පියන් තමයි. ඉදිරි සති, මාස සහ අවුරුදු ගණනාව තුළ මොන වෙනස්කම් සිදු වුණත්, එක දෙයක් ස්ථිරව කියන්න පුලුවන්. ඒ තමය අම්මයි තාත්තයි හැමදාම ඔයාගේ අම්මයි තාත්තයි තමයි. ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. ඔයාට වෙන කිසිම කෙනෙක්ගෙ ආදරය උදව්ව ලබාගන්න උවමනා වෙන විදියට අපි කවදාවත් ඔයාට සලකන්නෙ නෑ. අපි දෙන්නම ඔයාට ආදරෙයි, ඔයා වෙනුවෙන් ඉන්නවා, අපි කොහේ ජීවත් වුණත්, දේවල් කොහොම වෙනස් වුණත් අපි හැමදාම ඔයා වෙනුවෙන් ඉන්නවා.

3. ඔයා ආරක්ෂිතයි, ඉදිරියටත් ආරක්ෂිතයි. අපේ පවුල තුළ ඉදිරියේදී යම් යම් වෙනස්කම් සිදු වුණත්, අම්මයි තාත්තයි ඔයා වෙනුවෙන් ඉන්නවා. ඔයා ආරක්ෂිතයි, බය වෙන්න දෙයක් නැහැ. ඔයා දේවල් ගැන කරදර වෙන්න ඕන නෑ. අපි අපේ පවුල වෙනුවෙන් සැලසුම් හදනවා, ඔයා හැම තීරණයකම ඉතා වැදගත් කොටසක්. ඒ නිසා සැහැල්ලුවෙන් ඉන්න, අම්මයි තාත්තයි මේ හැම දෙයක්ම බලාගන්නම්.

4. මේක වෙනසක් ගැන, දොස් පැවරීමක් ගැන නෙවෙයි. දික්කසාදය කියන්නේ බය හිතෙන වචනයක්. නමුත් ඇත්තටම ඒකෙන් අදහස් කරන්නේ අපේ පවුල යම් යම් වෙනස්කම් අත්විඳිනවා කියන එක විතරයි. වෙනසක් හොඳයි. ජීවිතයේ සෑම දෙයක්ම වෙනස් වෙනවා. ඔයා සෑම උස යනවා, මහත් වෙනවා, දක්ශ වෙනවා වගේ වෙන වෙනසක් විතරයි. සෑම වසරකම සෘතු වෙනස් වෙනවා. ඇඳුම් පැළඳුම් සහ කොණ්ඩා මෝස්තර වෙනස් වෙනවා. ඔයා වයසට යන විට ඔයා ඉගෙන ගන්න ශ්‍රේණි පාසල් වෙනස් කරනවා. වෙනස් වීම කියන්නේ දේවල් යම් ආකාරයකින් වෙනස් වෙනවා කියන එකයි. ඒකෙන් අදහස් වෙන්නේ දේවල් නරක වෙයි කියලා නෙවෙයි. වෙනස විනෝදජනක, උද්යෝගිමත් සහ අලුත් දෙයක් වෙන්නත් පුලුවන්. සමහර වෙලාවට වෙනස්කම් වලට හුරු වෙන්න ටික කාලයක් ගත වෙනවා, අලුත් ගුරුවරයෙක් එක්ක අලුත් පංතියක් ආරම්භ කරනවා වගේ. අනිත් වෙලාවට වෙනස් වීම අපිට අලුත් සහ හොඳ ආකාරයකින් දේවල් කරන්න අවස්ථාවක් ලබා දෙනවා.

අපේ පවුල තුළ ඇති වන වෙනස කියන්නෙ කවුද හරි, වැරදි, හොඳ හෝ නරක කවුද කියන එක නෙවෙයි. අම්මයි තාත්තයි දෙන්නම අපේ ප්‍රශ්න විසඳගන්න උපරිම උත්සාහ කළා. පරණ ක්‍රමය අපිට වැඩ කළේ නැහැ, දැන් අපි අපේ පවුලට ජීවත් වෙන්න උදව් වෙන අලුත් ක්‍රමයකට උත්සාහ කරනවා, ඒ නිසා අපි හැමෝටම සාමය, සන්සුන්කම සහ සතුට ලැබෙන්න පුලුවන්. කාටද දොස් කියන්න ඕන කියලා කරදර වෙනවා වෙනුවට, ඉදිරියේදී ඇති වන වෙනස්කම් අලුත් අත්දැකීමක් විදියට, අපේ ජීවිතයේ අලුත්ම පරිච්ඡේදයක් විදියට දකින්නේ කොහොමද කියලා හිතමු.

5. දේවල් හොඳින් සිදු වේවි. අපි අලුත් දේවල් ආරම්භ කරන විට සහ අලුත් අභියෝගවලට මුහුණ දෙන විට අපි ගොඩක් බය වෙනවා. ඔයා බයිසිකලයක් පදින්න ඉගෙන ගත් පළමු අවස්ථාව, පාසලේ හෝ දිවා කඳවුරේ පළමු දිනය, දන්ත වෛද්‍යවරයා වෙත ගිය පළමු ගමන වගේ. ැඑවා වෙන්නෙ නැතැයි අපි බයෙන් හිටියත්, දේවල් කරල පුරුදුවෙන්න අපිට සිදුවෙනවා. දික්කසාදයත් ඒ ආකාරයෙන්ම තමයි වෙන්නෙ. ටික කලකට දේවල් අලුත් සහ වෙනස් වෙයි

අපිට අලුත් දේවල් කරන්න අලුත් ක්‍රම ලැබෙනවා… අලුත් වගකීම් රැසක් ලැබෙනවා… අපේ කාලසටහන්වල වෙනස්කම් රැසක් ඇති වෙනවා. හැබැය ජීවිතය ඉදිරියට යනව. අපි වෙනස්කම් වලට හුරු වෙනවා. ඒවායින් සමහරක් අපි කැමති වෙන්නත් පුළුවන්. ටික කාලෙකට පස්සේ, අපි ආපහු හැරිලා බලලා කියයි, ජීවිතේ ඉස්සරට වඩා වෙනස්, නමුත් හැමදේම හොඳයි කියලා. මම හොඳින්, අපේ පවුල හොඳින් ඉන්නවා, ඒ වගේම, වඩාත්ම වැදගත් දේ වෙන්නෙ, අපි තවමත් එකිනෙකාට ආදරෙයි. ඒක තමයි වටිනම වැදගත්ම දේ වෙන්න ඕන!

6. අම්මයි තාත්තයි හැමදාම ඔයාට ආදරෙයි. මොනවා වුනත්, මොන වෙනස්කම් සිද්ධ වුනත්, එක දෙයක් ස්ථිරයි. අම්මයි තාත්තයි හැමදාම ඔයාට ආදරෙයි. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අපි කොහෙද ජීවත් වෙන්නේ, අපි මොනවද කරන්නේ, ඔයා කොච්චර වයසට ගියත්. ඔයාට ඒක විශ්වාස කරන්න පුළුවන්. කවදාවත් ඒක අමතක කරන්න එපා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here