Chat with Smartlady – මිෂෙල් දිල්හාරා

0
12


මිෂෙල් දිල්හාරා උසස් රසයකින් යුත් ටෙලි නිර්මාණ හරහා අපට හමු වන නව පරපුරේ යොවුන් නිළියක්.මිෂෙල් “සුදු ඇඳගෙන කළු ඇවිදින්” හි අයෝමා ලෙස කළ රංගනය නිසා 2019 වසරේ නැගී එන නිළිය ලෙස රයිගම් සම්මානයට ද පාත්‍ර වුණා. මේ මිෂෙල් සමඟ අපේ කතාබහයි.

සුනිල් කොස්තා සර්ට මුලින්ම ස්තූතියි කියන්න ඕනෑ මාව අයෝමා වෙනුවෙන් තෝරා ගත්තට. දිනේෂ් සුබසිංහ අයියාටත් ස්තූති කරන්න ඕනෑ මාව සුනිල් සර්ට හඳුන්වා දීම සම්බන්ධයෙන්.
අයෝමා වගේ ගැහැනු ළමයි සමාජේ ඕනෑ තරම් ඉන්නවා. අයෝමා අවුරුදු දාසයක ගෑනු ළමයෙක්.කතාවේ ආරම්භයේ සිට අවසානය වෙනතුරුම එයා ඉපදෙන්නත් කලින් අතුරුදහන් වුණු තාත්තාව හොයන එක තමයි අයෝමා කරන්නේ. අයෝමා සහ අම්මා තාත්තාව හොයා ගෙන යන ගමනේ අම්මා කෙනෙක් සහ දුවෙක් තනියම ජීවිතේ ගෙවන හැටිත් ප්‍රශ්න වලට විසඳුම් හොයන හැටිත් තමයි කතාව පුරාම තියෙන්නේ. ඉතින් මට දැනුණේ සමාජයේ අයෝමලා ගොඩක් ඉන්නේ. ඒ වගේ අයට ජීවත් වෙන හැටි ගැන පණිවිඩයක් දෙන්න තමයි සුනිල් සර් මේ චරිතයෙන් දෙන්න උත්සාහ කළා. ඒ වගේම අවුරුදු දහසයක ගෑනුළමයෙක් හිතන පතන හැටි ගැනත් සමාජයට කියන්න අයෝමාට හැකි වුණා. අයෝමා කියන්නේ මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂයක්.

මීට කලින් මට ජාත්‍යන්තර සම්මාන ලැබිලා තියනවා. නමුත් රංගනය වෙනුවෙන් මගේ රටින් ලැබුණු පළවෙනි සම්මානය. නිර්දේශ වුණා කියලා දැන ගත්තමත් මගේ ඇස් දෙකට කඳුළු ඉනුවා. මට නිර්දේශ වුණු එකත් ලොකු සතුටක්. සම්මානය ලැබීමේ සම්පූර්ණ ගෞරවය ඇත්තටම සුනිල් කොස්තා සර්ට අයිති වෙන්න ඕනෑ. වසරේ නැගී එන නිළිය සම්මානය ලැබීම නිසා මට ලොකු වගකීමක් සහ බරක් රංගන ජීවිතයට දැනුණා. හොඳ චරිත තෝරාගෙන ඉදිරියේ දී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනෑ සුදු ඇඳගෙන කළු ඇවිදින් නාට්‍ය‍යට සම්මාන 17ක්ම ලැබුණා. මේ හැම සම්මානයකටම වගේම මගේ සම්මානයටත් මුළු ටීම් එකේම අයගේ සහයෝගය හේතු වුණු බව නොකියාම බෑ. ටීම් වර්ක් එකේ ප්‍රතිඵලයක් තමයි මේ සම්මානය

මම සමාජ සේවා පටන් ගන්නේ අවුරුදු පහළොවෙන්, ළමා නිවාස වල ස්වේච්ඡා ඉංග්‍රීසි ගුරුවරියක් විදියට වැඩ කරා. ඊට පස්සේ වැඩිහිටි නිවාස වල ස්වේච්ඡා සේවා කළා.ඒ කාලේ මට සල්ලි නැහැ.මම පොඩියි. උසස් පෙළින් පස්සෙ මං රංගනය හදාරලා රංගනයට යොමු වුණා. ඉන්පසු පත්තර, රූපවාහිනි, සමාජ මාධ්‍ය වලින් මට ඒ සමාජ සේවා කටයුතු විශාල වශයෙන් කරන්න උදව් ලැබුණා.
ඉන්පස්සෙ මං පරිසර ක්‍රියාකාරිනියක් බවට 2016 වසරේ දී.

ලෝකයේ තිබෙන ලොකු පාරිසරික සංවිධානයක් ලෙස Earth day Network ආයතනය හඳුන්වන්න පුලුවන්. එය රටවල් 193 ක පමණ සංවිධාන75,000 ක් සමඟ ක්‍රියාත්මක වෙනවා. මේ ආයතනයේ ගෝලීය උපදේශක කමිටුවේ ඇමරිකානු නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ ඇමරිකාවේ උප ජනාධිපතිවරයෙක් වූ ඇල් ගෝර්, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙක් වූ ජෝන් කෙරී,අනිල් කපූර් සහ ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන ආනන්ද් මහින්ද්‍රා වැනි අ‍ය සම්බන්ධයි.මම එහි ශ්‍රී ලංකා තානාපතිනියක්. ඊට සමගාමීව ජුහී චව්ලා ඉන්දියාවේ තානාපතිනිය ලෙසත් Miss Malaysia මෙලීසා ටෑන්,Miss Universe Philippines මරික්‍රස් කැස්ට්‍රෝ ඒ ඒ රටවල තානාපතිනියන් හැටියටත් කටයුතු කරනවා.
2016 දී මම දේශගුණික විපර්යාස ක්‍රියාකාරිත්වයආරම්භ කරා.පාරිසරික හානිය අවම කිරීමට මම ව්‍යාපෘති සංවිධානය කරා. ඒ සම්බන්ධයෙන් මම රට පුරා විවිධ පරිසර කඳවුරු සහ විවිධ වැඩසටහන් පවත්වා තිබෙනවා.

දැනට මාව දකින්න පුලුවන් නිර්මාණ වන්නේ Can යූ Hear මී නාට්‍යයේ මහිමි, සිහින සමාගමේ දිනිති, Kiss season 2 ආර්නා කියන චරිතවලින්.
ඉදිරියේ දී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය වෙන්නේ සකුණ පියාපත්,කිසා, තිරය ඇරපං, Race සහ දූවිලි කියන නාට්‍යයි. ඊට අමතරව මගේ අධ්‍යාපන වැඩකටයුතු කරගෙන යනවා.
පරිසරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමුළුවලටත් ආරාධනා ලැබුණා.නමුත් කොරෝනා ගැටළුව හේතුවෙන් ඒවා අන්තර්ජාලය හරහා සිදු කෙරෙනවා. මගේ පළමුවැනි පොත “සමාජ අදෘශ්‍යමාන භාවය මිත්‍යාවක් නොව එය පවතින්නක්” ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් වුණා.එය 2019 වර්ෂයේ පර්‍යේෂණ ග්‍රන්ථයක් ලෙස බොහෝ මහාචාර්යවරුන්ගේ උදව් සහිතව මම නිම කළා. ඒ පොත නිසා 2019 ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වූ ලෝක තරුණ සමුළුවෙන් National youth icon සම්මානය මට ලැබෙනවා. පොතට සහ පොතේ සංකල්පය සඳහා.මම දැන් දෙවැනි පොතට සූදානම් වෙමින් ඉන්නවා.කියවන්න :  තරු හැඩයට අවුරුදු සැරසිල්ලක් සහ දිරි ගන්වන්නක්..

මම සමාජ සේවා කටයුතු යොවුන් වයසෙන් පටන් අරන් ක්‍රමයෙන් දියුණු කරා. මම නිළියක් විදියට ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු තුහමාරක් වගේ. නමුත් මම තාම ඉගෙන ගන්නවා. නිලියක් විදියට මම අධ්‍යාපන මට්ටම, වෘත්තිය ගැන මගේ බාහිර කටයුතු ගැන සැලකිලිමත් වෙනවා ඒ ගැන හදාරනවා. අද ලෝකයේ දියුණුව සහ තාක්ෂණය එක්ක අපි නිතරම අප්ඩේට් වෙන්න ඕනෑ. දැන් ලෝකය තරඟයකට වැටිලා ඉන්නේ.අපි පවතින්න නම් නිතරම අලුත් දේවල් ඉගෙන ගන්න ඕනෑ සහ හදාරන්න ඕනෑ කියලා මම හිතනවා සහ ඒ දේවල් වල නිරත වෙනවා. සම්පූර්ණ කෙනෙක් වෙන්න නම් ඒ දේවල් කරන්නම ඕනෑ. තමන්ගේ අනන්‍යතාව ගොඩ නඟා ගන්න හැම ගෑනු ළමයෙක් වගේම මමත් මහන්සි වෙනවා..මිෂෙල් ව ගොඩ නගා ගන්නේ එහෙමයි.

මිෂෙල්, ඔබ සැබෑ ස්මාර්ට් ලේඩි කෙනෙක්. යොවුන් වයසකදී ම බොහෝ දේ ලබා ගත් ඔබට උත්සාහය සහ කැපවීම තුළින් බොහෝ දුර ගමනක් යා හැකි බව අපට විශ්වාසයි.අපි ඔබට ආදරයෙන් සුබ පතනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here