CCD හිටපු අධ්‍යක්ෂ ඇතුළු 4ක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශානිට අතුරු තහනම් නියෝගයක් !

0
5

හිටපු පාතාල නායකයකු වූ මාකඳුරේ මධුෂ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහ විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

CCDයේ සේවය කළ අදාළ නිලධාරීන් සිව්දෙනා විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

පෙත්සමකරුවන් සිය පෙත්සමෙහි සඳහන් කර ඇත්තේ මාකඳුරේ මධුෂ් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදුකරන අතර ඊට අදාළව තමන්ව කොයි මොහොතක හෝ අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවයි. වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ මෙම විමර්ශනය සිදුකරන බවත් ඒ තුළින් තමන්ට දැඩි අගතියක් සිදුවිය හැකි බවත් පෙත්සමෙහි සඳහන් කර ඇති ඔවුන් ඉල්ලා ඇත්තේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.

එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා විසින් අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළ අතර පෙත්සම මැයි 15 වනදා යළි කැඳවීමටත් එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ශානි අබේසේකර ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමටත් නියම කෙරිණි.

The post CCD හිටපු අධ්‍යක්ෂ ඇතුළු 4ක් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශානිට අතුරු තහනම් නියෝගයක් ! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here