A ජය සහ 19 න් පහළ පරාජය

0
6


නිශ්මං රණසිංහ මැයි 04, කොළඹ LNW:

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අබුඩාබියේදී අයර්ලන්ත ඒ කණ්ඩායම සහ ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායම පරාජය කරමින් තුන් කොන් තරගාවලියේ ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුණා.එපමණකින් නොනැවතුණු ඔවුන් සිව්දින තරගයද ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 308 න් ජය ගන්නට සමත් වුණා.මෙම ලකුණු 308 ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවා යාමේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ඉණිම දෙක සඳහා ශතක පහක් රැස් කිරීම කැපී පෙණුනා.

පළමු ඉණිමේදී ලහිරු උදාර ලකුණු 107 ක් සහ සොනාල් දිනූෂ නොදැවී ලකුණු 104 ක් ලබා ගන්නට සමත් වුණා.දෙවන ඉණිමේදී තවත් ශතක තුනක් වාර්තා වූ අතර නුවනිදු ප්‍රනාන්දු 102 සහ පවන් රත්නායක සහ පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 100 බැඟින් ලබා ගැනීමට සමත් වුණා.පන්දු යැවීමේදී ඉෂිත විජේසුන්දර ලකුණු 35 ට කඩුලු 6 ක් සහ ලකුනු 75 ට කඩුලු 4 ක් දවා ගනිමින් සමස්ත තරගයේදී ලකුණු 110 ට කඩුලු 10 ක් දවා ගත්තා.ශතක ලහටම වඩා මේ පන්දු යැවීම ඉස්තරම් බව සළකා තරගයේ වීරයා සම්මානය ඉෂිතට හිමි වුණා.

ජාතික කණ්ඩායමට පිවිසීමේ ආසන්නයේම සිටින්නේ රටක ඒ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් වන අතර ඒ අරුතෙන් ගතහොත් මේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලැබුණ අදට වඩා හෙටට වටින තිළිණයක් විදිහට අරුත් ගැන්විය හැකියි.ඒ සතුට සරුවට භුක්ති විඳින්නට බැරි තත්ත්වය වාර්තා වන්නේ ශ්‍රී ලංකාවේ මේ දිනවල පැවත්වෙන අවුරුදු 19 න් පහළ බංගලාදේශ සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර තරගාවලියේදී ශ්‍රී ලංකාව දක්වන පසුබෑම හේතුවෙන්ය.එය සමස්ත ලාංකේය පාසල් ක්‍රිකට් පද්ධතිය ගැනම අලුතෙන් හිතන්නට වන තත්ත්වයක්ය.

මේ වන විට බංගලාදේශ කණ්ඩායම තරග හයකින් යුතු තරගාවලියේ තරග හතරක් නිමා වෙද්දී තරග තුනක ජය ලබා අවසන්ය.එම තරග තුනක ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ කණ්ඩායමට මේ වන විටත් තරගාවලිය ජය ගැනීමට කිසිඳු අවස්ථාවක් නැත.ඒත් සම කර ගැනීමට අවස්ථාවක් ඇත.

කණ්ඩායම් දෙක සංසන්දනය කරද්දී බංගලාදේශය වත්මන් ආසියාවේ අවුරුදු 19 න් පහළ සූරයෝය. ඒ අනුව දක්ෂතා සළකා බැලීමේදී බංගලාදේශ තරුණයින් ඉදිරියෙන් සිටින බවක් පෙනෙන්නට ඉඩ ඇත.එසේම ශ්‍රී ලංකාව ජයග්‍රහණය අපේක්ෂා කිරීමට වඩා වැඩි ක්‍රීඩකයින් පිරිසකට අවස්ථාව දීම ගැන සැළකිල්ල යොමු කර තිබෙන බවක් ද දැකිය හැකියි.එ් නිසාම මේ දක්වා විශාල ක්‍රීඩකයින් පිරිසකට අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනයට අවස්ථාව දී පරාජය වැඩි පිරිසක් අතර බෙදී යාමට සැළස්වීම පමණක් කෙරී ඇත.

ඒ අනුව ක්‍රිඩකයින් වැඩි පිරිසකට අවස්ථාව නොදුන්නේනම් ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබුණා වැනි හැඟීමක් ඇති කර ගැනීමට අවශ්‍යය නැත.කුමන ක්‍රීඩකයින් එකළොස් දෙනා ක්‍රීඩා කළ ද,ජයග්‍රහණය කිරීමේ හැකියාව බංගලාදේශයට ඇත.මේ ඇත්ත අප තේරුම් ගත යුතුය.එහෙත් පසුපෙළ වේගයෙන් පහර දෙන, ආවොත් ආවා – ගියොත් ගියා වර්ගයේ පිතිකරුවන් හැරෙන්නට නිශ්චිත ලෙසම දක්ෂ පිතිකරුවන් ලෙස බංගලාදේශය සතුව සිටින්නේ සිව් දෙනෙකුගේ තරම් පිරිසක්ය.මේ තරගාවලිය පුරාවටම ඔවුන්ගේ ජයග්‍රහණ කැරකුණේ එම පිතිකරුවන් කිහිප දෙනා අතරය.ගෙවුණු සිව්වන එක්දින තරගය ශ්‍රී ලංකාව පරාජයට පත් වූයේ ලකුණු 146 න් ය.පළමුව පන්දුවට පහර දෙමින් බංගලාදේශ තරුණයින් කඩුලු 8 ට ලකුණු 336 ක් රැස් කරන්නට සමත් විය.එයින් ලකුණු ෂවාඩ් අබ්රාර් සතුය.ලකුණු 82 ක් රිෂාන් හොසාන්ට ය.වැදගත්ම දේ ඔවුන් පන්දු 43.5 ක් ගෙවෙන තුරු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවා ගන්නට දී ඇත්තේ කඩුලු 4 ක් පමණක් වීමය.44 වන පන්දු ඕවරයේ පස්වන පන්දුවෙන් සිව්වන කඩුල්ල දැවී යන බංගලාදේශය ඒ වන විට රැස් කර ගෙන තිබුණ ලකුණු ප්‍රමාණය 250 ක් විය.

ඉනික්බිති පන්දු 37 දී බංගලාදේශ ලකුණු පූවරුවට ලකුණු 86 ක් එක් වී ඇත.පන්දු 37 දී කඩුලු 4 ක් අහිමි කරගෙන ක්‍රියා කර ඇත්තේ අප මුළින් සඳහන් කළ ආවොත් ආවා – ගියොත් ගියා වර්ගයේ පිතිකරුවෝය.ඒ අනුව සැළසුම ප්‍රහාරයේ හැඩය පහසුවෙන් පැහැදිළි කර ගැනීමට අවසන් පන්දු වාර 6 තුළ, පන්දු ඕවරයට ලකුණු 12 ට වැඩිය සාමාන්‍යයක් තබා ගැනීම ගැන සැළකිල්ල යොමු කළ හැකිය.විශාල ලකුණු ගණනක් හඹා යන්නට හැකි විශේෂ පිිතිකරුවන් කිහිප දෙකේ විසින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා දෙන දැවන්ත ලකුණු පූවරු මෙන්ම පන්දු යවන්නන්ට විඳින්නට වන ප්‍රහාරයද පහසු නැත.බංගලාදේශය ලකුණු 336 ක් ලැබූ තරගයේදී ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නා වූ රසිත් නිම්සරගේ පන්දු ඔවර් 10 ට බංගලාදේශ පිතිකරුවන් ලකුණු 96 ක් ලබා ගෙන තිබිණ.රසිත් ඒ ප්‍රහාරය හමුවේ කඩුලු 3 ක් ද දවා ගෙන තිබිණ.
ඉදරි තරගවලදී ද බංගලාදේශයේ බලපෑම සිඳුවනු ඇත්තේ මේ ආකාරයටමය.එක දිගට එකම ආකාරයේ පීඩනයක් පවත්වාගෙන යාමට බංගලාදේශයට හැකිවීම ජාතික මට්ටමේ 19 න් පහළ කණ්ඩායමක් හැටියට ශ්‍රී ලංකාවේ දුර්වලකම ප්‍රදර්ශනයක්ය.ඒ නිසා ඊට පිළිතුරු දීමට ශ්‍රී ලංකාව සන්නද්ධ කිරීමේ වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලයට සහ දත්ත විශ්ලේෂක කණ්ඩායමටය.මේ ගැන අවධානය යොමු කර අවධානය යොමු නොකළහොත් පරාජයට පත් වන්නේ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම පමණක් නොවේය.ශ්‍රී ලංකා ක්‍රිකට් මහත් වෙහෙසක් සහ වියදමක් දරා තනා ඇති දත්ත පරීක්ෂා කිරිමේ ක්‍රියාවලියේ සිට ලබා දී ඇති ඉහළ පහසුකම් සියල්ලම පලක් නැති දේ බවට පත් වන්නේය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here