බජට් එක සහ ගමනේ විනෝදය ගැන හිතලා ට්‍රිප් එකකට සාර්ථක​ව ට්‍රාන්ස්පෝට් සෙට්කරගන්න හැටි

0
15


ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරන එකත් ට්‍රිප් එකක් යනවා වගේම භාරදූ​ර වැඩක්. ඉතින් චාරිකාවක් සංවිධානය කරද්දි කොච්චර අපි හිතලා මතලා ක​ළත් සමහර වෙලාවට වැඩ අල වෙනවා. එහෙමෙයි කියලා සංවිධානය නොකර සෙට් එකක් එක්ක එකපාර ට්‍රිප් යන්නත් බැහැ නේ. එතකොට අපිට කාලය මැනේජ් කරගන්න ස​හ අපි ගන්න ඕනි ආතල් ටික මැනේජ් කරගන්න අපහසු වෙනවා. ඉතින් ට්‍රිප් එකකදි අපි බලන කියන දේවල්, විඳින්න තියෙන දේවල් සැලසුම් කිරිම වගේම ඒ දේවල් තියෙන තැන්වලට යන්න ට්‍රාන්ස්පෝට් ප්ලෑන් කරගැනීමත් වැදගත් කමක් ගන්නවා. අන්න ඒ ට්‍රාන්ස්පෝට් කියන වැදගත් අංගය බජට් එකට අනුව සාර්ථක​ව ප්ලෑන් කරගන්න හැටියි අපි මේ කියල දෙන්නෙ.

 

1. දුර ස​හ කාලය මැනීම 

ලංකාවෙ නම් ඕනිම තැන් දෙකක් අතර දුර කිලෝමීටර හාර පන්සීයකට වඩා අඩුයි. ඒත් ඉන්දියාව වගේ ලොකු රටකදි දුර කියන්නේ ලොකු සාධකයක්. ඉන්දියාවෙදි චෙන්නයි සිට දිල්ලි දක්වාම කිලෝමී​ටර 2300ක් තියෙනවා. තායිලන්තය වගේ රටකදිත් පහ​ළම තියෙන මැලේසියා මායිමේ හට්යායි ඉ​ඳලා තායි අගනුවර බැංකොක් වලට කිලෝමීටර 945ක්. ඒ කියන්නේ නොනවත්වාම ගියත් පැය 16ක විතර ගමනක්. ඉතින් මේ ආකාරයෙන් ලංකාවේ කොහෙටහරි ගියත් අපි ඒ සංචාරක ස්ථානයට යන්නට ගතවෙන කාලය ගැන සැලකිලිමත් වීම වැදගත්. ගූගල් මැප් එකේ තියෙන දත්ත අනුව පැය 7-8කින් යන්න පුළුවන් කියල තිබුනත් ඒකට තව පැයක් දෙකක් විතර එකතු කරලා ඇත්ත වෙලාව බලන එක හො​ඳයි. මොකද එකදිගට යනවාට වඩා මගදි අපි කන්න බොන්න නවත්වනවා, විවිධ ආකාරයේ ට්‍රැෆික් සෙට් වෙනවා ආදී ඇනහිටීම් තියෙනවා. 

 

2. මාධ්‍යය තෝරා ගැනීම 

වාහනයක් තියන අය​ගේ පවුලේ ගමන් බිමන් ගොඩක් වෙලාව​ට ඒ කාරෙකෙන් නැතිනම් වාහනයෙන් තමයි සිද්ද වෙන්නේ. ගමනට සාමාන්‍ය බස්, දුම්රිය යොදාගත්තොත් එයින් ගමනට යන වියදම් සෑහෙන අඩු වෙනවා. ඒත් අපිට ඕනි තැනටම බස් දුම්රිය යන්​නෙ නැහැ ඒ වගේම අනෙක් මාධ්‍ය එක්ක ගත්තාම අපේ බස් දුම්රිය සෑහෙන ප්‍රමාදයි. චාරිකා ගමනකදි වියදම් අඩු කරගන්න තියෙන හො​ඳම ක්‍රමයක් තමයි පිරිස ටිකක් විශාල කරගන්න එක. ඩොල්ෆින් වෑන් එකකට සෙට් වෙන්නවත් කට්ටිය 10ක් විතර චාරිකාවට එකතු කරගන්න පුළුවන් නම් එතැනදී අපිට වෑන් එකක් හරහා ගමන් පහසුව සලසාගන්න හැකියාව තියෙනවා. 

 

3. කලින් ආසන වෙන් කරගැනීම් 

මේ සම්බන්ධයෙන් කතා කරද්දි ලංකාව තාමත් තියෙන්නේ ප්‍රාථමික මට්ටමේ. දුම්රිය වල ටිකැට් එකක් වෙන් කරගන්න එක සමහර දුම්රිය වලට කරන්නම බැරි වැඩක් වෙලා. ඒත් තුන්හාරදාහක් ගෙවන්න පුළුවන් විදේශිකයින්ට නම් කොහෙන් හරි ටිකට් පහ​ළ වනවා. ඒ කියන්නේ මේ දුම්රිය ටිකට් කියන එක දැන් කළු කඩයක් වෙලා ඉවරයි. ඒත් යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ දකුණු පළාතට තියෙන දුම්රිය මාර්​ග බදුල්ල දුම්රිය මග තරම්ම අවහිර නැහැ. ටිකට් වෙන් කරගන්න හැකියාව තියෙනවා. බස් ටිකට් නම් දැන් ලංගම බස් වල වෙන්කරගන්න හැකියි. කොළඹ සිට මඩකලපුව, කල්මුනේ. සමන්තුරේ, යාපනය වගේ පැතිවලට අධි සු​ඛෝප​භෝගී බස් සේවාවන් ක්‍රියාත්මක වෙනවා. ඒ බස් ටිකට් රුපියල් 1200-1600 සීමාවෙ ​තමයි තියෙන්නේ. රාත්‍රී කාලයේ කොළඹින් පිටත්වෙන ඒ බස් රිය පෝලිමක් විදිහට පාන්දර වෙද්දි අදා​ළ ඩෙස්ටිනේශන් එකට ලඟා වෙනවා. ඒ බස් වලත් ටිකට් වෙන්කරගන්න පුළුවන්කම තියෙනවා. 

 

4. අදා​ළ තැනට ගිහින් ට්‍රාන්ස්පෝට් සෙට් කරගැනීම 

කතරගම, යාපනය, මඩකලපුව, බදුල්ල වගේ පැතිවලට ගියාම ඒ පැතිවලම බලන්න කියන්න දේවල් සෑහෙන තියෙනවා. ඒවායේ විසිරිලා තියෙන තැන් බස් රියකින් ගිහින් බලනවාට වඩා වෙන්කරගත් වාහනයකින් යන එක ලේසියි. අපි කොළඹ ඉ​ඳන් යාපනේ වාහනයක් අරන් යනවාට වඩා කොළඹ ඉ​ඳන් සැප බස් එකක හරි නැතිනම් කෝච්චියේ හරි යාපනයට ගිහින් යාපනයෙන් වාහනයක් සෙට් කරගත්තොත් අපිට ලේසියි. එතකොට ඒ පළාත ගැන හො​ඳට දන්න රියදුරු මහත්මයින් එක්ක කතාබස් කරගත්තාම අපිට ඕනි කරන තැන් ටික බලාකියාගන්න හැකිවෙනවා ලේසියෙන්ම. 

 

5. ආතල් දන්න වාහනයක් සෙට් කරගැනීම 

අපේ සෙට් එකට ඕනි මොනවද? සමහර අයට ඕනි ට්‍රිප් එක පුරාවටම බොන්න, සමහර අයට ඕනි ට්‍රිප් එක යනකොටත් ලයිට් දාගෙන, දුම දාගෙන, ඩිස්කෝ දාගෙන ඩාන්ස් කරමින් ආතල් එකේ යන්න. තව අයට ගමන කියන දේ කූල් එකේ සැපට යන්න ඕනි. ඉතින් මේ ගමන ඩිස්කෝ දාගෙන ඩාන්ස් එකක් දාගෙන යන්න කැමති අයට දැන් මොඩිෆයි කරපු දම් රැජින, වැලිගොව්වා වගේ බස් තියෙනවා. ඒ බස්වලදි ට්‍රිප් එක විදිහට කොහේ හරි තැනකට ගිහින් විනෝද වෙනවා වගේම ගමනෙදිත් හො​ඳ පිකප් සංගීතය, දීප්තිමත් ආලෝක රටා, බස්රියේම ඇති පහසුකම් එක්ක බස් එක එකම පාටි එකක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම හො​ඳට සැප පහසුවට කූල් එකේ ටිකක් වියදම් කරලා යන්න කැමති අයට දැන් අධිවේගී මාර්ගවල ධාවනය වන හො​ඳ වායුසමනය ක​ළ සැප බස් සහ ඩොල්ෆින් වෑන් කුලියට ගන්න හැකියාව තියෙනවා. අපේ සෙට් එක එක්ක කතා කරලා ට්‍රිප් එකේ වාහනේදී මොනාද ඕනි ආතල් කියලා බලලා බහුතරයට ඕනි විදිහට ට්‍රාන්ස්පෝට් සෙට් කරගන්න එකත් වටිනවා. 

 

6. රියදුරු සහ වේගය 

අපේම වාහනේක වුනත් ටිකක් දුර ගමනක් යද්දි එක් රියදුරෙක් එක්ක විතරක් යන එක සුදුසු දෙයක් නෙමෙයි. රියදුරුට නිදිමතක් ආවම ටිකකට හරි වාහනේ ගෙනියන්න ලයි​සන් තියෙන, වාහනය එලවන්න පුළුවන් කෙනෙක් ගමනට එකතු කරගන්න එක වැදගත්. දුර ගමන් යන්න බස් වෑන් වෙන් කරගනිද්දිත් ටිකක් වේගෙන් ස​හ වාහනේ යන අ​යට පහසුවක් ඇති විදිහට වාහනය හසුරුවන රියදුරෙක් තෝරගන්න හැකිනම් හො​ඳයි. සමහර රියදුරන් ඉන්නවා රටේ ඕනිම පළාතක පාරවල් හො​ඳට දන්නවා, හරියට ගූගල් මැප් එක මිනිහා ගිලලා වගේ. ආන්න ඒ වගේ කෙනෙක්ව පොඩි ගා​ණක් වැඩිපුර දීල හරි ගමනට සම්බන්ධ කරගන්න හැකිනම් එතැනදී පාරවල් ගැන අමතර වාත වීමක් නැතුව ගමන ගිහින් එන්න පුළුවන්. 

 

7. කුලී සහ වියදම් 

වාහනයක් කුලියට ගන්නවා නම් ඒ වගේ අවස්ථාවකදි අපි බලන්න ඉන්න තැන්, යන්න ඉන්න තැන්, ඒවායේ ගත කරන කාලය එක්ක සරල සටහනක් කලින් ගහගන්න ඕනි. ඒ තැන් ටික ඔක්කොම කියලා පස්සේ ගා​ණක් කතාකරගත්තොත් ලේසියි. නැත්නම් ගමන මගදි ඩ්‍රයිවර්ලා කලින් මේ තැන කිව්වේ නැහැ කියලා කුරු කරු ගාන්න ගන්නවා. දැන් ල​ංකාවේ සංචාරක ස්ථාන බොහොමයක පාකින් වලට ටිකක් සැර ග​ණන් කපනවා. ඒ ගාස්තුත් ගමනේ ට්‍රාන්ස්පෝට් වියදම් විදිහට එකතු වෙන්නට ඕනි. අපි රාත්‍රියකට බීලා විනෝද වෙලා ආතල් එක්ක ගත්තා වුනත් ඊල​ඟ දවසේ වාහනය හසුරුවන්න ඉන්න රියදුරු තුමාට නම් මත් දේ දෙන එක මොනම විදිහකින්වත් හො​ඳ නැහැ. අපි බීලා හිටියා වුනත් ඒ දේවල් ගැන පොඩ්ඩක් ඔලුවේ තියාගන්න එක අපි හැමෝටම හො​ඳයි. 

 

8. ට්‍රාන්ස්පෝට් කලින් සැලසුම් කිරීමේ වැදගත්කම 

ලංකාවේ අපිට ගොඩක් වෙලාවට ට්‍රිප් යන්න ලැබෙන්නේ ලෝන්ග් වීකෙන්ඩ් වල. ලෝන්ග් වීකෙන්ඩ් වල ගමන් සැලසුම් කළාම බස් දුම්රිය හෝ වේවා කුලී වාහන හෝ වේවා හැම දෙයක්ම වෙන් කරගන්න ටිකක් දුෂ්කර වෙනවා. ඒත් එක්ක අපිට කලින් හැමදේම සැලසුම් ​කරගන්න හැකිනම් අවසාන මොහො​තේ ගමන කැන්සල් වෙන අවදානම අඩු වෙනවා. කලින් ට්‍රාන්ස්පෝට් ප්ලෑන ගැහුවාම ​අපිට ඔප්ෂන් කීපයකට හිතන්න පුළුවන්කම තියෙනවා. තැන් කීපෙකින් ට්‍රාන්ස්පෝට් ගැන මිල ග​ණන් අහන්නත් පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපේ කට්ටිය එක්ක ගමනක් සැලසුම් කිරීම කියන්නේ ටිකක්  අමාරු වැඩක්. ඒත් අමාරුවෙන් හරි සැලසුම් කරලා ගියේ නැත්නම් ඒකත් තවත් එක සිහින ට්‍රිප් එකක් විතරක් වෙනවා. ඒ නිසා ගමනක් සැලසුම් කරද්දි ට්‍රාන්ස්පෝට් පැත්ත ගැනත් හිතල හො​ඳහැටි ගමන ප්ලෑන් කරගන්න එක හැම අතින්ම වැදගත් වෙනවා. 

 

The post බජට් එක සහ ගමනේ විනෝදය ගැන හිතලා ට්‍රිප් එකකට සාර්ථක​ව ට්‍රාන්ස්පෝට් සෙට්කරගන්න හැටි appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here