ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) වාර්ෂික හමුවට සහභාගී වූ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දූත පිරිස සිව් දිනක සාර්ථක නිල සංචාරයකින් අනතුරුව අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.
පසුගිය ජනවාරි 19 වනදා සිට 22 වනදා දක්වා පැවැති මෙම සමුළුව අතරතුර, අගමැති ලෝකයේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීන් සහ ව්‍යාපාරික නායකයින් රැසක් හමු වී ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික මාවත ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වන ලදී. මෙම සංචාරය සඳහා කම්කරු ඇමති සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් එක්ව සිටියහ.
මෙම සංචාරයේ විශේෂත්වයක් ලෙස අගමැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්ඩා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වමින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තාය. එසේම, සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම්, යුරෝපීය කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) පරිපාලක ඇලෙක්සැන්ඩර් ඩි ක්‍රෝ සමඟ පැවැති හමුවීම් හරහා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමටත් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ගෝලීය විශ්වාසය තහවුරු කිරීමටත් හැකි විය.
ගෝලීය වේදිකාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පැහැදිලි කරමින් අගමැති ‘World Women Davos Agenda 2026’ හමුවේ විශේෂ දේශනයක් පැවැත්වූ අතර, නැගී එන වෙළෙඳපොළවල රැකියා අර්බුදය සහ ගෝලීය කුසලතා සංවර්ධනය පිළිබඳ වූ ඉහළ පෙළේ කමිටු සාකච්ඡා (Stakeholder Dialogues) සඳහා ද සිය දායකත්වය ලබා දෙන ලදී. මීට අමතරව, ගෝලීය සංචාරක සංසදයේ (GTF) ඉහළ පෙළේ සංවාදයකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ අනාගත දැක්ම ප්‍රවර්ධනය කිරීමටද අගමැති පියවර ගෙන ඇත.
ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් AP Moller-Maersk වැනි ජාත්‍යන්තර සමාගම්වල ප්‍රධානීන් සහ ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා පැවැත්වූ අගමැති, ස්විට්සර්ලන්තයේ වෘත්තීය පුහුණු ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවකටද එක් වී තිබේ.
ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හමු වූ අග්‍රාමාත්‍යවරිය මෙරට සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳවද අවධානය යොමු කර ඇත.
මෙම සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවර මගින් ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන වැඩපිළිවෙළ උදෙසා ජාත්‍යන්තර සහයෝගීතාවයේ නව පිටුවක් පෙරළීමට අගමැති ප්‍රමුඛ දූත පිරිස සමත් වී තිබේ.
0
Saru News










