දකුණු අප්‍රිකාව තරගාවලිය ජය ගත්තද එංගලන්තය වාර්තාවක් සමග අවසන් තරගය දිනයි

0
8

ජෙකොබ් බෙත්ල්ගේ සහ ජෝ රූට් ගේ විශිෂ්ට පිතිහරඹයත්, ජොෆ්ර ආචර් ඇතුළු එංගලන්ත පන්දු බළඇණියේ කැපී පෙණෙන පන්දු යැවීමත් හේතුවෙන් සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවැනි සහ අවසාන තරගයෙන් ලකුණු 342ක දැවැන්ත ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. එංගලන්තය ලැබූ මෙම ජයග්‍රහණය වාර්තා පොත් අතරට එක්කාසූ වූයේ එක්දින ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් ඉහළම ලකුණු පරතරයකින් ජයගත් තරගය ලෙසය.

පෙරේදා (07 දා) සවුත්හැම්ප්ටන් හිදී පැවැති මෙම තරගයේ පළමු පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලබාගත් ලකුණු 414ක දැවැන්ත අභියෝගය හඹායෑම සඳහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ට ලබාගැනීමට හැකියාව ලැබුණේ පන්දු වාර 20යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 72ක් වීම හේතුවෙන් ලකුණු 342ක දැවැන්ත ජයක් හිමිවුවද, තරගාවලියේ පළමු තරග දෙකම දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය ගැනීම හේතුවෙන් තරගාවලි ජය 2-1ක් ලෙස දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිවිය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ජේකොබ් බෙත්ල් ලකුණු 110ක්, ජෝ රූට් ලකුණු 100ක්, ජෙමී ස්මිත් ලකුණු 62ක් සහ ජොස් බට්ලර් නොදැවී ලකුණු 62ක් ලැබීය.

පන්දු යැවීමේදී කොර්බින් බොෂ් ලකුණු 79කට කඩුලු 2ක් සහ කේෂව් මහරාජ් ලකුණු 61කට කඩුලු 2ක් දවාලීය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී කොර්බින් බොෂ් ලකුණු 20ක් සහ කේෂව් මහරාජ් ලකුණු 17ක් ලැබීය.

පන්දු යැවීමේදී ජොෆ්ර ආචර් ලකුණු 18කට කඩුලු 4ක් සහ අදීල් රශීඩ් ලකුණු 13කට කඩුලු 3ක් බිඳහෙළීය.

තරගයේ වීරයා ලෙස ජොෆ්ර ආචර් සම්මාන ලැබූ අතර, තරගාවලියේ වීරයා ලෙස කේෂව් මහරාජ් සම්මාන ලැබීය.

සිසිර ඉන්ද්‍රජිත්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here