අලුත් හයිවේ කොටස එක්ක ලේසියෙන් සෙට්වෙන ට්‍රැවල් අත්දැකීම්

0
16


අලුත් පාරක් කියන්නේ අලුත් නෑකම් එකතු වෙන තැනක්. ඉතින් අලුත් හයිවේ එක හැදුනත් හරි ඒ පළාත තවත් කොළඹට කිට්ටු වුනා වගේ එකක් වුනා. කොට්ටාවේ ඉන්න කෙනෙක්ට සාමාන්‍ය පාරේ මීගමුවට යනවාට වඩා ඉක්මනින් දැන් හම්බන්තොටට යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ එක්ක අලුත් විදිහට ට්‍රැවල් එක්ස්පීරියන්ස් ටිකකුත් අපිට ඉබේම සමීප වුනා. කොළඹම නොවුනත් නුවර, අනුරාධපුර, කුරුණෑගල, ගම්පහ ඉන්න අයටත්  දැන් වෙනදාට වඩා අඩු කාලෙකින් හම්බන්තොට දිහාවට කිට්ටු වෙන්නට හැකියි. ඒ එක්ක මොනාද ඔයාලට එහේ ගිහින් ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් කියලා අපි සොයා බලමු.

 

1. වනෝද්‍යාන චාරිකා

ලංකාව කියන්නේ වන සතුන්ගේ පාරාදීසයක්. ජිම් කෝබට් ගේ දිවියන් ගැන කතා තිබුනාට ඉන්දියාවේ වනෝද්‍යානයක දිවියෙක් බලාගන්න එක අද කාලේ ලේසි වැඩක් නෙමෙයි. ඉතින් දිවියන්, වලසුන් සහ අනෙක් සතුන් බලන්න යාල යන්න දැන් වැඩිවෙලාවක් යන්නෙ නැහැ. උඩවලව පාක් එකටත් පොඩි දුරක් තියෙන්නේ හයිවේ එකේ ගිහින් සූරියවැවින් දැම්මොත්. ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සහ තණමල්විල පැත්තටත් අවශ්‍ය අයට යන්නට හැකියි. කුරුල්ලන්ට ආස අයට කළමැටිය, බූන්දල වගේ කලපු ආශ්‍රිත සුන්දර පරිසර පද්ධති දැන් කොළඹට ගොඩක් සමීප වෙනවා අලුත් හයිවේ එක නිසා.

 

2. මුහුද සහ වෙරළ පද්ධති

හම්බන්තොට සුන්දර උස්සන්ගොඩ වෙරළ තීරය වරක් හෝ දැකබලාගන්න වටින තැනක්. පැරණි කාලේ උල්කාවක් කඩා වැටුනා හෝ එවැන් දෙයක් නිසා මූද අයිනේ පොලව රතුපාට වෙලා ගල් හෙම උණු වෙලා තියෙනවා. ඒ උස්සන්ගොඩ කියන්නෙත් වනෝද්‍යානයක්. මූද අයිනේ හම්බන්තොට දිහා තියෙන ලේවාය බලන්න යන එකත් දරුවන්ට වටිනවා. කඩොලාන සහ වගුරු බිම් ආශ්‍රිත රැකව, කලමැටිය, බූන්දල වැනි තෙත් බිම් වලිනුත් මේ දිසාව සාරවත්. අධ්‍යාපනික වගේම පරිසර වටිනාකමකින් යුතු ලස්සන වෙරළ පරිසර පද්ධතියක් මේ කළාපයේ තියෙනවා.

 

3. විවේක ගන්නට

තැන් බලන්නට විතරක් නෙමෙයි විවේක ගන්නත් අපි සංචාරය කරනවා. හැම තැනම දුවලා පැනලා මහන්සිවෙනවාට වඩා එක තැනකට වෙලා විවේකෙන් කාලය ගතකරන්න ඇතැම් අය ආසයි. විශේෂයෙන් බටහිර ජාතිකයන්ගේ සංචාරක අත්දැකීම් බොහොම විවේක පාඩුවේ තමයි සිදු වෙන්නේ. ඔවුන් බලන තැන් ආදියත් විවේකෙන් බලලා මන්දගාමී විදිහට සංචාරය සැලසුම් කරගන්නවා. තංගල්ල පළාතේ අනන්තරා ආදී සුපිරි තැන් වගේම ලස්සන විවේක තැන් ගොඩක් තියෙනවා. මූද අයිනේ වෙරළ පරිසරය එක්ක ඒ තැන්වල හොඳ පහසුකම් තියෙනවා. හම්බන්තොටත් දැන් ෂැංග්‍රිලා හෝටලයකුත් ඇරිලා පහසුකම් තියෙන හෝටල ගණනාවක් විවෘත වෙලා තියෙනවා.

 

4. වන්දනාවට

තිස්සමහාරාම කියන්නේ පුරාණ රුහුණු රාජධානියේ සංදිස්ථානයක්. කතරගම ආගම් දෙක තුනේම ජනයාට වැදගත් වෙන සිද්ධස්ථානයක්. කතරගම කියන්නේ විනෝද චාරිකාවකට වඩා බැතිසිතින් කරන දෙවියන්ගේ, බුදුන්ගේ ආශිර්වාදය ලබාගන්න කරන වන්දනා ගමනක්.  සිතුල්පව්ව, මාලිගාවිල වගේ සිද්ධස්ථානත් මේ හම්බන්තොට කළාපයේම පිහිටලා තියෙනවා. කතරගම වන්දනා කටයුතු වලදි බලන්නට තියෙන සෙල්ල කතරගම, වැඩහිටි කන්ද, මහා දේවාලය, කිරිවෙහෙර ආදී සියලුම තැන් වැඳපුදාගෙන සැහැල්ලුවෙන් නැවතිලා ඉන්න නවාතැන් පොලවලුත් ගොඩක් කතරගම තියෙනවා. ආයතන වල වැඩකරන අයට නම් ඒ ඒ ආයතන වල සර්කිට් බංගලෝ එහෙමත් කතරගම බහුල වශයෙන් තියෙනවා.

 

5. අලුත් අත්දැකීම

හම්බන්තොට එන අයට පසුගිය වසර කිහිපය තුල අලුතින් එකතුවුනා බලන්න තැන් කිහිපයක්ම. එයින්  ලෝකේ පාළුම ගුවන්තොටුපලක් වෙන මත්තලත් කාලයක් සංචාරකයින් අතර ජනප්‍රිය වුනා. හම්බන්තොට වරාය, හම්බන්තොට කුරුලු උයන්, වියලි කළාපීය උද්‍යාන එහෙමත් සංචාරකයින් අතර ජනප්‍රියයි. මේ උද්භිත උද්‍යාන වල ලංකාවේ සාමාන්‍යයෙන් දැකගන්නට අමාරු සතුන් සහ ගහකොළ තිබෙනවා. සූරියවැව හරියේ තියෙන රිදියගම සෆාරි උද්‍යානයේ සතුන්ට වැඩි විවේකයක් ලැබෙන විදිහට සතුන් ගාල් කරලා තියෙනවා. ඒ සෆාරි උද්‍යානයේදී දරුවන්ටත් වැඩිහිටියන්ටත් වනෝද්‍යානයකට වඩා ලේසියෙන් සත්තු බලාකියාගන්නට හැකියි.

 

6. කඳුකරයට අලුත් පාරක්

මත්තල දක්වා හැදුණු අලුත් පාර නිසා දැන් ඇල්ලටත් පැය හතරකින් විතර යන්න පුළුවන් කොළඹ ඉඳලා. රේල් ටුවර් එකක් යන්න විදිහක් හොයනවා නම් කොළඹ ඉඳන් පැය ගාණක් වාත වෙනවාට වඩා කෙලින්ම ඇල්ල බදුල්ල දිහාට ගිහින් එතැනින් සුන්දර කඳුකර රේල් චාරිකාවකට ඔයාලට එකතු වෙන්නට හැකියි. මේ එක්ක බණ්ඩාරවෙල, වැල්ලවාය, බදුල්ල, පස්සර වගේ පැතිවලටත් දකුණු පළාතේ ඉඳන් ගමනාගමනය වඩාත් ලේසි වුනා. හම්බන්තොට හයිවේ එකේ ගිහින් රස්නේ පැති විතරක්ම නෙමෙයි, වැල්ලවායට ගිහින් තව පොඩ්ඩක් උඩ ඇල්ල දිහාට ගියොත් ඒක හරහා සීතල පැත්තටත් දැන් යාම ඊම ලේසියි. 

 

7. හයිවේ භූමි දර්ශන

අලුත් හයිවේ එක එහෙම නැතිනම් එක්ස්ප්‍රස් වේ එක වියළි කලාපයේ ගොවිබිම් හරහා මුලින්ම යන්නේ හම්බන්තොටදි. හයිවේ යද්දි  ඈත සුන්දර වෙල්යායවල්, කෙහෙල්, මාලුමිරිස්, වතු එලවලු කොරටු ආදිය පාර දෙපැත්තේ පේන්න තියෙනවා. මාතර සිට බෙලිඅත්ත සීමාවේදී හයිවේ එකේ කුඩා වනාන්තරයක්ද හමු වෙනවා. හම්බන්තොට පැතතේ පාරවල් පළල්. කොළඹ වගේ වාහන එලවීම හම්බන්තොටදි ලොකු වාතයක් නෙමෙයි. දැන් අධිවේග පිවිසුම් නිසා පැය දෙකකින් මේ වේලෙන පරිසර පද්ධතිය බලාකියාගන්න කොළඹ ඉන්න අයට පුළුවන්. ඒ එක්ක කොළඹට වැහැලා වැහැලා චොරවෙන කාලවලදි ටිකක් ඉර දකින්න උවමනා නම් කරන්න තියෙන්නේ වාහනේ හයිවේ දාලා පැය දෙකක් වැය කරන එක විතරයි.

 

8. කෑම බීම සහ අත්දැකීම්

මදුනාගල තියෙනවා උණුවතුර ළිං. උණුවතුර ළිං වල උණු වතුරෙන් නාන එකෙන් ලෙඩ රෝග හොඳ වෙනවා කියලා මතයක් තියෙනවා. සූරියවැව එක්සිට් එක හෝ වැටිය එක්සිට් එක මේ මදුනාගලට කිට්ටුයි. මේ පළාතේ පළතුරු, එළවළු සරුවට වැවෙනවා. කොළඹදි ග්‍රෑම් 500ක් මිලදී ගන්නා මුදලින් මේ අගුනකොලපෑලැස්ස, රන්න පැත්තේ පාර අයිනේ තැනකින් කිලෝ එකක් දෙකක් එලෝලු ගන්න පුළුවන්. දිවුල්, අඹ, ගස්ලබු, පේර වගේ පළතුරු ජාති ගහෙන් කැඩූ ගමන් අලුත් බඩු ඒ පැත්තෙදි හොයාගන්න පුළුවන්. තිස්සමහාරාම යොධකන්ඩිය පැත්තේ මඩ ඉඩම් වල නාන මී හරක් දකින්න ඉන්නවා වගේම මීකිරිත් ලාබෙට රසට ගන්න තියෙනවා. හම්බන්තොට කඩවලින්  කළු දොදොල්, රණවරා, බෙලිමල් වගේ දේවලුත් අලුත් පිට මිලදී ගන්නට හැකියි. කිරින්ද, හම්බන්තොට, තංගල්ල වගේ ධීවර වරායන් තියෙන නිසා මාළු කරවල ගන්න කැමති අයටත් ගමනකදි ඒවා වාහනේට පටෝගන්නට පුළුවන්.

දැන් ඉතින් කොරෝනා අවදානම සහ තියෙන ආර්ථික තත්ත්ව එක්ක අපිට රට යන ට්‍රැවල් හීන ටිකක් විතර සීමා කරගන්නට වෙලා. ඒ එක්ක හැමදාම ට්‍රැවල් කරනවාට වඩා එකම පළාතේ වුනත් වෙනස් වෙනස් එක්ස්පීරියන්ස් වලට ඔයාලට මාරු වෙන්න පුළුවන්. උදාහරණ විදිහට එක පාරක් ගිහින් ඇතිවෙන්න කැළේ සහ සත්තු බැලුවා නම් ඊළඟ පාර ​ඇවිදිලි මොකුත් නැතිව විවේකයෙන් කාලය ගත කරන්න සැප හෝටලයක් බුක් කරගන්න පුළුවන්. ඉතින් අලුත් පාරක් එක්ක අලුත් ගමනක් ගිහින් එන්න ඔයාලට මේ හරහා පොඩි හරි උනන්දුවක් එන්න ඇතිනේද?

The post අලුත් හයිවේ කොටස එක්ක ලේසියෙන් සෙට්වෙන ට්‍රැවල් අත්දැකීම් appeared first on Lifie.LK.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here