අත්තනෝමතික ලෙස ඉන්ධන මිලදී ගැනීම තුළින් රටට රුපියල් මිලියන 800ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංගට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම (22) පවසා තිබේ.
හිටපු ඛනිජ තෙල් ඇමති අර්ජුන රණතුංග, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග විත්තිකරුවන් කරමින් දූෂණ විරෝධී පනත ප්‍රකාරව මෙම නඩුව ගොනුකළ බවද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පවසා ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංගට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර ගැනීම සඳහා විත්තිය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ අනූෂා සම්බන්ධප්පෙරුම මෙම කරුණු අනාවරණය කර තිබේ.
ඇය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා ඇත්තේ විත්තිකරුවන් සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදු කරන්නේ නම් මහාධිකරණයට ඉදිරිපත් කළ යුතු බවය.
2017 – 2018 වර්ෂයේ මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රටට අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීමට නියමිතව තිබූ දිගු කාලීන ටෙන්ඩර් 03ක් අවලංගු කොට, ඒ වෙනුවට වැඩි මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් 27ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලැස්වීම තුළින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 800කට ආසන්න පාඩුවක් (ඇමෙරිකන් ඩොලර් 4716957) සිදු කිරීම හා ඊට ආධාර අනුබල දුන්නේ යැයි කියන චෝදනාව විත්තිකරුවන්ට ඉදිරිපත් කොට ඇත.
ධම්මික රණතුංග සැකකරුගේ බිරිඳගේ අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට විදේශගත වීමට අවශ්‍ය බැවින් ඊට ඉඩ ලබා ගැනීම සඳහා මෙම ඇප ලිහිල් කිරීමේ ඉල්ලීම සිදු කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබේ.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් වැඩිදුර කරුණු මාර්තු 13 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කර ඇත.
1
Saru News










