මහියංගණය ඇසළ පෙරහැරේ සමාරම්භයට ජනපතිත් එක්වී…

0
8

ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහැර පෙරේදා (06දා) රාත්‍රියේ වීදි සංචාරය කෙරුණු අතර එහි සමාරම්භය සනිටුහන් කරමින් මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඓතිහාසික මහියංගණ රජමහා විහාරය හා ඓතිහාසික මහියංගණ සමන් දේවාලය ඒකාබද්ධව වාර්ෂිකව පවත්වන ඇසළ මහා පෙරහැර, අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ සංඝ සභික මහියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ හා මහියංගන සුමන සමන් දේවාලයේ බස්නායක නිළමේ තැන්පත් නීතිඥ ගයාන් හෂිල හිංකෙන්ද මහතාගේ උපදෙස් පරිදි හා සංවිධානයෙන් සිදුකෙරේ.

උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියෝ ජනාධිපතිවරයාට සමරු සිහිවටනයක්ද පිළිගැන්වූහ. එසේම ජනාධිපතිවරයා පෙරහැර නැරඹීමටද එක්විය.

දිවයිනේ වෙහෙර විහාරස්ථානවල පැවැත්වෙන ඇසළ මහා පෙරහැර අතුරින් ඓතිහාසික මහියංගන ඇසළ මහා පෙරහැර සඳහා සුවිශේෂී ස්ථානයක් හිමි වන්නේ ආදිවාසි ඇදහිලි, පුදපූජා, චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් එකම පෙරහැර එය වන නිසාය.

අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (07 දා) විථි සංචාරය කළ අතර ආදිවාසි වැදි පෙරහැර අද (08දා) අලුයම 4.00 ට පැවැත්විණ.

අද උදෑසන මහවැලි ගංතෙරදී දියකැපීමේ මංගල්‍යය පැවැත්වීමෙන් අනතුරුව උදෑසන ආදිවාසි දොඩම් පෙරහැර සමගින් පැවැත්වෙන දහවල් පෙරහැරෙන් ඓතිහාසික මහියංගණ ඇසළ පෙරහැර අවසන් වේ.

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් හා ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, බදුල්ල හා මහියංගණ දිස්ත්‍රික්ක නියෝජය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රවින්ද්‍ර බණ්ඩාර, අම්බිකා සැමුවෙල් හා සුදත් බලගල්ල යන මහත්ම මහත්මීන් ඇතුළු මහියංගන දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.

මහියංගණ – රංජිත් කරුණාවීර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here