ජාතික ගමනාගමන කොමිසමේ ධාවන අධ්‍යක්‍ෂ
තංගල්ලම හඬවා ඊයේ නික්ම යති
ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරට සම්බන්ධ බස් රථයේ මාර්ග බලපත්‍රය 2023 දී එම හිමිකරුවන් ඉවත් කරගෙන ඇතැයි හෙළිවූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්‍ෂ ෂෙරින් අතුකෝරල මහත්මිය “දිවයින” ට ඊයේ (07දා) පැවැසුවාය.
මෙම බස් රථය මීට පෙර අකුරැස්ස – කොළඹ අතර අන්තර් දුර සේවා මගී ප්‍රවාහන බස් රථයක් ලෙස ජාතික ගමනාගමන කොමිසම යටතේ බස් ගමන් මාර්ග බලපත්‍රයක් ලබාගෙන ධාවනය වූ එකක් බවද ඇය සඳහන් කළාය. එහෙත් පසුකාලීනව එම බස් රථයේ හිමිකරුවන් එම මගී ප්‍රවාහන සේවාවෙන් ඉවත් වී බසය විනෝද චාරිකා සඳහා යොදාගෙන ඇතැයි හෙළිවූ බවද ඇය කීවාය. විනෝද චාරිකා සඳහා යොදවා ගන්නා බස් රථ ජාතික ගමනාගමන කොමිසමේ නියාමනයට යටත් නොවන බවද එවැනි බස් රථ නියාමනය වන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමිසම මගින් බවද ඇය කියා සිටියාය.

මේ අතර මෙම අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරු වන තංගල්ල හේනකඩුව පදිංචිව සිටි කෝමර හන්දෙනිගේ චිරාන් දිමන්ත (25) නමැත්තාගේ රුධිර සාම්පල අද (08දා) වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිත බව ඇල්ල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති එච්. පී. පාලිත මහාත “දිවයින” ට පැවැසීය.
අනතුර සිදුවූ සැප්තැම්බර් 04 වැනිදා රාත්‍රියේ මෙම රියැදුරු මත්ද්‍රව්‍ය හෝ වෙනත් විෂ සහිත මත්ද්‍රව්‍යයක බලපෑමට ලක්ව සිටියේ ද යන්න තීරණය කිරීමට මෙසේ රුධීර සාම්පල පරීක්ෂණයට භාජනය කරන බවද හෙතෙම කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධම්මික සල්වතුර
Saru FM Media