“මගේ ඔෆිස් එකේ යාලුවෙකුට මං ගැන ආදරයක් හිතිලා. මට නම් ඒ වගේ අදහසක් තුන් හිතකවත් තිබුණේ නැහැ. හැබැයි මම මගේ අකමැත්ත ප්‍රකාශ කළොත් එයාගේ හිත රිදෙයි ද කියලා මට බයයි. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්න ද කියලා.” – මේ කතාව කිව්වේ මගේ මිතුරියක්. ඇය මේ යෝජනාවට ඇත්තටම කැමති ද නැද්ද කියලා මටත් එකසැරේටම හිතාගන්න බැරිවුණා.
“මට ඔයා ගැන අදහසක් තියෙනවා!” එවැනි දෙයක් තරුණයෙකු විසින් ඔබට කවදා හෝ පවසා ඇද්ද? තරුණියක් හැටියට, එවන් දෙයක් අසන්නට ලැබීම ඔබ තුළ යම් සතුටක් මුසු වූ කැළඹිලි ස්වභාවයක් පහළ වීමට එසේ නැතහොත් පුංචි ආඩම්බරයක් දැනීමටත් හේතු වෙන්න පුළුවන්. නමුත්සමහර විට ඔබ එයට දෙන පිළිතුර කුමක්ද යන්න ගැන යම් දෙගිඩියාවකින් සිටිනවා විය හැකියි.
යම් කෙනෙකුට ඔබ ගැන ආදරයක් ඇති වී ඒ ගැන කෙලින් ම ප්‍රකාශ කළොත්, ඔබ විවාහ වන වයසක සිටිනවා නම් හෝ එවන් ආදරයකට ප්‍රතිචාරය දක්වන තත්වයක සිටිනවා නම් ඒ ගැන ඔබට යම් චකිතයක් සහ විවිධ ආකාරයේ හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඔහු හොඳ ගති පැවතුම් ඇති බුද්ධියෙන් පරිණත කෙනෙකු නම්, ඔබේ සිත ඔහු කෙරෙහි ඇදී යන බව නිසැකයි. නමුත් ඔහු තුළසහකරුවෙකුට තිබිය යුතු සුදුසුකම් නොමැති නම් තත්වය කුමක්ද? එසේ නැතහොත් ඔහුට යහපත් ගති පැවතුම් තිබුණත් ඔබට ඔහු ගැන ආදරයක් නොහැඟේ නම් කුමක් කිව හැකිද?
තරුණියක් යම් තරුණයෙකු සමඟ ටික කාලයක් ඇසුරු කරද්දී, ඔහු තුළ සහකරුවෙකුට තිබිය යුතුසුදුසුකම් නැහැයි කියා ඇයට හැඟෙන්න පුළුවන්. නමුත් එම ඇසුර නවතා දමනවා වෙනුවට, “මම කොහොමද ඔහුගේ හිත රිදවන්නේ” කියා සිතමින් ඇය එම ආශ්‍රය දිගටම පවත්වාගෙන යනවා විය හැකියි.
ඔබ කෙරෙහි උනන්දුවක් දක්වන නිසා හෝ ටික කලක් ඇසුරු කළ නිසා කෙනෙකුව අනිවාර්යයෙන්ම විවාහ කරගත යුතුයි කියා දෙයක් කොහෙත්ම නැහැ.
ඔබට ඕනෑම කෙනෙකු ගැන ආදර හැඟීමක් ඇති නොවන බව එයින් පෙන්වනවා. ටික කාලයක් ආශ්‍රය කළ පසු ඔහු කෙරෙහි තමාට ආදරයක් ඇති නොවන බව ඇයට හැඟී යා හැකියි. ඔහුගේ යම් දුර්වලකමක් පෙනුණ නිසා නැතහොත් ඔහු කෙරෙහි ඇගේ සිත ඇදී නොයන නිසා එසේ සිදුවිය හැකියි. එසේ හැඟෙන විටත් එය ගණන් නොගෙන සිටීම ඇත්තෙන්ම මෝඩකමක්.
ආදරයක් පෙන්වන තරුණයෙකු ප්‍රතික්ෂේප කරන්න කියා කියන්න ලෙහෙසියි. ඒත්, ඒක කරන්න තමයි අමාරු. ඔහුව රිදවීමට ඇති අකමැත්ත නිසා ඔබටත් එය හිතට වද දෙන ගැටලුවක් විය හැකියි. ඒත් හිත රිදවීමට ඇති අකමැත්ත නිසා ඔහුව විවාහ කරගැනීමට පෙලඹීම ඔබ කරන්නාවූ ලොකුම මෝඩකම විය හැකියි. මන්ද, අනුකම්පාව, විවාහයට ශක්තිමත් පදනමක් නොවෙයි.
මට වෙන කෙනෙක් ලැබුණේ නැත්නම්? මට මේකත් නැහැ, ඒකත් නැහැ’ කියා ඔබට සමහර විට සිතෙන්න පුළුවන්. “එයා නියම කෙනා නොවුණත් එයා විතරයි මගෙන් ඇහුවේ. මම මොකටද මේ අවස්ථාව නැති කරගන්නේ. සමහරවිට ඔබට එහෙම හිතෙන්නත් පුළුවන්. ඇත්තෙන්ම අපි කවුරුත් කැමති නැහැ තනි වෙන්න. ඒත් ඕනෑම කෙනෙකුව ඔබේ සහකරු කරගැනීමෙන් මෙම අවශ්‍යතාවය ඉටු වෙයි කියා සිතීම අපහසුයි.
ඔහුගේ වැරදි දක දැකත් සමහර තරුණියන් ආශ්‍රය දිගටම පවත්වනවා. ‘මම ටිකක් කල් දීලා බලනවා. සමහර විට එයා වෙනස් වෙන්නත් පුළුවන්’ කියා ඇතැම් විට යෞවනියන් සිතනවා. නරක පුරුදු සහ හැසිරීම් වෙනස් කිරීම හිතන තරම් පහසු නැහැ. යම් විටක ඔහු ක්ෂණික වෙනස් වීම් පෙන්නුම් කරන්න පුළුවන්. නමුත් එවා සැබෑ වෙනස්කම් කියලා අපිට ස්ථිර වෙන්න පුළුවන්ද?
කාරණය ගැන දෙමාපියන් සමඟ හෝ අත්දැකීම්වලින් පරිණත වැඩිහිටියෙකු සමඟ සාකච්ඡා කරන්න. ඔබේ බලාපොරොත්තු යථාර්ථවාදීද නැද්ද යන්න තේරුම්ගැනීමට ඔවුන් සමහර විට ඔබට උපකාර කරයි.
පැහැදිලිව සහ ඍජුව කියන්න. ඔහුට ඔබේ සිතුවිලි ගැන අනුමාන කිරීමට ඉඩ දෙන්න එපා. කාලයක් බලා ගෙන සිටියොත් ඔබේ හිත වෙනස් වෙන්න පුළුවන් වැනි අදහසක් ඔහු තුළ ඇතිවීමට ඉඩ තබන්න එපා. ඔබට ඔහු ගැන ආදර හැඟීමක් නැති බව නොවළහා ප්‍රකාශ කිරීම, වරදවා වටහාගැනීමක් ඇති නොවීමටත්, බලාපොරොත්තු කඩවීමෙන් ඔහු තුළ ඇති වන සිත් තැවුලෙන් ඉක්මනින් මිදීමටත් ඔහුට උපකාර වෙනවා.
කලින් ඔබ දෙදෙනා හොඳ මිතුරන් ලෙස කල් යැවූ ආකාරයටම පසුවටත් කටයුතු කිරීම සුදුසුදෙයක් කියා සිතෙන්න පුළුවන්. නමුත් එය ප්‍රායෝගික නොවන අතර, කොහෙත්ම කළ නොහැකි දෙයක්. ඔබ කෙරෙහි ඔහුට තිබෙන්නේ ආදර හැඟීමක් මිසක සාමාන්‍යයෙන් මිතුරෙකු සම්බන්ධයෙන් තිබෙන හැඟීමක් නොවෙයි. ඔහුට එම හැඟීම් යටපත් කරගෙන කිසිවක් සිදු නොවුණ ආකාරයට සිටිය හැකියි කියා සිතීම සාධාරණද කියා ඔබම කල්පනා කර බලන්න. එයින් සිදු වන්නේ ඔහුගේ හිත තව තවත් පෑරීමයි. ඔහුගේ හැඟීම් සමඟ සෙල්ලම් කිරීම කාරුණික දෙයක් නොවෙයි.
– නිරංජලා –
Saru FM Media