පාතාලයට බයේ සිය ගණනක් ආරක්ෂාව ඉල්ලති; හාමුදුරුවරුත් ආරක්ෂාව ඉල්ලලා

0
3

පාතාල සාමාජිකයන්ගෙන් ජීවිත තර්ජන එල්ල වී ඇතැයි නීතිඥවරුන්, බන්ධනාගාර හා පොලිස් නිලධාරින් ඇතුළු වෘත්තිකයන් සිය ගණනක් ගැන ආරක්ෂක තක්සේරු ලබා ගැනීමට පොලිස් මූලස්ථානය හා ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි “අරුණ” පුවත්පත වාර්තා කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය මේ වන විටත් එවන් අවධානම් සහගතව ජීවත් වන වෘත්තිකයන් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය මගින් තර්ජන පිළිබඳ තක්සේරු වාර්තා කැඳවා ඇති බවද පැවසේ.

එම වාර්තාවේ වැඩි දුරටත් මෙසේ ද දැක්වේ.

පාතාල ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන ඇතැම් නීතිඥයන්ටද ප්‍රතිවාදී පාතාල කල්ලි මගින් ජීවිත තර්ජන එල්ල වී ඇත.

පසුගියදා බත්තරමුල්ල අකුරේගොඩ දී පාතාල ක්‍රියාකාරීන් විසින් වෙඩි තබා නීතිඥවරයකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසු නීතිඥ සංගමයේ සියලු සාමාජිකයන් කොළඹට රැස්වූ අවස්ථාවේදී ද මේ පිළිබඳ පුළුල් සංවාදයක් ඇතිව තිබේ.

මෙයට අමතරව පාතාල ක්‍රියාකාරීන්ගේ තර්ජනවලට වැඩියෙන්ම ලක්ව ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් බවත් ඇතැම් නිලධාරීන් මේ හේතුවෙන් ස්වකැමැත්තෙන්ම ස්ථාන මාරු ලබාගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.

බන්ධනාගාර ගතව සිටින පාතාල සාමාජිකයන්ට බන්ධනාගාර තුළ ජංගම දුරකථන භාවිතා කිරීමට හෝ වෙනත් නීති විරෝධී ක්‍රියා කිරීමට ඉඩ නොදීම මත බන්ධනාගාර නිලධාරීන් බහුතරයක් තර්ජනවලට ලක්ව ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ ආරංචිමාර්ග කියා සිටියේ ජීවිත තර්ජන ඇතැයි පවසමින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර ඇති පාර්ශ්ව සම්බන්ධයෙන් මේ වනවිටත් ආරක්ෂාව පිළිබඳ තක්සේරු ලබාගැනීම සිදුවෙමින් පවතින බවය.ප්‍රධාන පෙළේ ඇතැම් භික්ෂුන් වහන්සේලාද මේ ආකාරයෙන් ජීවිත තර්ජන මත ආරක්ෂාව ඉල්ලා තිබෙන බවද එම ප්‍රකාශකයා කීවේය.

විධිමත් තක්සේරුවට අනුව සැබැවින්ම තර්ජන එල්ල වී ඇති පිරිස්හට ආරක්ෂාව ලබා දෙන බවද එම නිලධාරියා කීවේය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදයකුමාර වුට්ලර්ගෙන් අරුණ, කළ විමසුමකදී කියා සිටියේ පොලිස්පතිවරයා වෙත තමන්ට ජීවිත තර්ජන ඇතැයි පවසා පැමිණිලි කරන ඕනෑම අයකු සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ආරක්ෂක තක්සේරු ලබාගන්නා බවය.

ඒ ආකාරයෙන් ලබාගන්නා තක්සේරුව කමිටුවක් හමුවට ඉදිරිපත් කර සැබැවින්ම ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇත්නම් එම පුද්ගලයන්ට ආරක්ෂාව ලබාදෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here