අයහපත් කාලගුණය නිසා උ.පෙළ විභාග කාලසටහනේ වෙනස්කම් ගැන සාකච්ඡාවක්

0
2

පවතින අධික වර්ෂාව හමුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග කාලසටහනේ සිදුවන වෙනස්කම් හා ගනු ලබන ඉදිරි ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට අද (27) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙ‍විරත්න මහතාගේ සහභාගීත්වයෙනි.

ඒ සඳහා අධ්‍යාපන ලේකම් නාලක කලුවැව, ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගී වී ඇත.

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අපහසුතාවකින් තොරව විභාගයට පෙනී සිටීමට අවස්ථාව සැලසිය යුතු බව අමාත්‍යතුමිය  මෙහිදී ‍ප්‍රකාශ කළාය.

පළාත් සහ කලාප මට්ටමින් අධ්‍යාපන බලධාරීන් සම්බන්ධ කරගනිමින් නිරන්තර අධීක්ෂණයෙන් සිටිය යුතු බවත්, සෑම අවස්ථාවක ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගුවන් හමුදාව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සහාය ගත හැකි සියලු ආයතන සම්බන්ධ කර ගනිමින් මනා සංවිධානයකින් යුතුව මෙම ක්‍රියාවලිය සංවිධානය කරගත යුතු ආකාරය පිළිබඳව ද එහිදී ඇය නිලධාරීන්ව දැනුම්වත් කළා ය.

මෙම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යතුමිය ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ සියලු බලධාරීන් එක්ව අ.පො.ස. උසස් පෙළට පෙනී සිටින දරුවන්ට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා දෙන බවයි. 

එමෙන්ම විභාගය අවසන් කළ සිසුන්ගේ පිළිතුරු පත්‍ර ඉතා ආරක්ෂිතව ඇති අතර මේ වන විටත් ඒවායේ ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බවත්  කිසිදු ආකාරයකින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසත් ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.

එමෙන්ම මාධ්‍ය හමුවේ දී අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ දිවයිනේ සියලුම මුස්ලිම් පාසල් අද සහ හෙට දිනයේ (27-28) වසා තැබෙන බවය.

පාසල් වාරයේ ඉතිරි කොටස ආරම්භ කරන දිනය පසුව මාධ්‍යයට දැනුම් දෙන බවත් පවතින ආපදා තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වසා තැබීම පිළිබඳ බලය එම උපකුලපතිවරුන්ට ලබා දී ඇති බවත් පැවසීය.

මේ අවස්ථාවේ දී විභාග කොමසාරිස් ජනරාල්තුමිය අදහස් දක්වමින් පෙන්වා දුන්නේ නොවැම්බර් 27, 28, සහ 29 යන දින තුනෙහි පැවැත්වීමට නියමිතව තිබූ විෂයන් පවත්වන දින පිළිබඳ ඉදිරියේ දී දැනුම් දෙන අතර යහපත් කාලගුණයක් පැවතුණහොත් සඳුදා (දෙසැම්බර් 01) පෙර කාලසටහනට අනුවම විභාගය පැවැත්වෙන බවය.

එමෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ ආයතනික විභාග ශාඛාවෙන් නොවැම්බර් 29 වැනි දිනට පැවැත්වීමට නියමිතව තිබූ රෙජිස්ටාර් ජනරාල් සේවයේ I පන්තියේ III ශ්‍රේණියට අයත් සීමිත විෂය ධාරාව යටතේ බඳවා ගැනීමේ තරග විභාගය අයහපත් කාලගුණය හමුවේ කල් දමා ඇති බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

එමෙන්ම නොවැම්බර් මස 30 වැනි දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ෂණික නොවන කාණ්ඩයේ III ශ්‍රේණියේ ක්‍රීඩා පුහුණු කරන නිලධාරීන්ගේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය ද කල් දමා තිබේ.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here