බිරිඳට රිදවන්නට ම අනියම් බිරිඳක් ඇසුරු කළ සැමියෙක්

0
11


සත්‍ය සිදුවීමක් ඇසුරිනි.වෘත්තිය සදාචාරය සඳහා නම් ගම් මනංකල්පිත වේ.

සඳරේකා ජීවිතයේ අප්‍රමාණ බාධා මැදින් තමන්ගේ සිහින සම්පූර්ණ කරගත් යුවතියක්.කොළඹට ඉතා දුර බැහැර ප්‍රදේශයක උපත ලැබූ ඇගේ මව සහ පියා එතරම් ආදායම් උපයූ අය නොවේ. ඉගෙනීමට ඉතාම දක්ෂ සඳරේඛා විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබන්නේ ඉතා මහන්සිවී අධ්‍යාපනය හැදෑරීමෙන් පසුවයි. මේ වෙද්දී වයස විසි එකක් වන ඇයට පියා අහිමිවී ගොස් දැනට පස් වසරක් පමණ ගෙවී ගොස් තිබෙනවා.සඳරේකාට අම්මා හැරෙන්නට සිටින්නේ අක්කා පමණයි.ඇය ඉතා සමාජශීලී තරුණියක්.ඉගෙන ගන්න අතරම රාජ්‍ය නොවන සංවිධානයක රැකියාවක් කරන්නට සඳරේකා තීරණය කළේ අම්මාට ඇගේ බර නොදැනෙන්නටයි.

“ඔය කතාව සඳාට කිව්වොත් උදව් නොකර ඉන්නෙ නෑ සහතිකයි.”

පෞද්ගලික ප්‍රශ්නයක් හෝ අධ්‍යාපනික ප්‍රශ්නයක් මතුවූ වහාම ඇගේ මිතුරියන්ටත් මිතුරන්ටත් සිහිවන්නේ සඳරේකාව.නිතරම අනිත් අයට උදව් කරන,ඉතා සුහදශීලී තරුණියක් වන ඇය එවැනි ගති ගුණවලින් හෙබි තැනැත්තෙක්.

උසස් අධ්‍යාපනය ලබන අතර ඇය නිරත වූ ඇගේ පාට්ටයිම් ජොබ් එක තුළ ඇය විශාල දෙයක් කළේ නැහැ.එය ඉතා සුළු රැකියාවක් වුණා.ලිපිකාරිනියක මට්ටමේ රැකියාවක් තමයි ඒ.ඇගේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ නිමල්.ඔහු සඳරේඛාට වඩා වසර පහලොවක් පමණ වැඩිමහල් කෙනෙක්.ඔහු හදිසි අනතුරකට ලක් වන්නේ ඒ අතරේදී.පාදය ආබාධයකට ලක්වීම නිසා නිමල්ට දිගුකාලීනව ඇඳ විවේකය ගන්නට සිදු වෙනවා.රැකියාව කරන ස්ථානයේ හැම කෙනකුම සමඟ හොඳ හිත පවත්වා ගත් සඳරේකා ඔහුට උදව් උපකාර කරනවා.නිමල් එක්තැන්ව සිටින අතරේම කාර්යාලයේ කටයුතු පවත්වාගෙන යන්නට වග බලා ගන්නවා.නිමල්ට ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් ගනුදෙනු කරන්නට සිදුවන්නේ සඳරේඛා සමඟයි.ඒ නිසා ඔවුන් දෙදෙනා අතර සමීප හිතවත්කමක් ඇති වනවා. නිමල් ජොතිශ්‍ය හදාරා ඇති කෙනෙක්.ඔහු සඳරේකාගේ කේන්දරය දවසක් පරීක්ෂා කරනවා.ඒ හරහා ඇති වන සමීප බව ඔස්සේ ඇය සමග සබඳතාවක් ඇරඹීමට ඔහු තීරණය කරනවා. ඒ අනුව සඳරේකා විශ්ව විද්‍යාලයේ අවසාන වසරේ සිසුවියක් කාලයේ ඇයට විවාහ යෝජනාවක් ගෙන එන්නට නිමල් කටයුතු කරනවා.ඒ කාලයේදී ඇගේ ඉගෙනීම් කටයුතුවලට පවා ඔහු උදව් කරමින් සිටිනවා.එම හේතු කාරණා නිසා සඳරේකා මේ විවාහ යෝජනාවට කැමැත්ත පළ කරනවා.නමුත් මේ වෙද්දී නිමල්ගේ පාදයේ යම් ආබාධිත තත්ත්වයක් ද පවතිනවා.නිමල් තම රැකියාවට අමතරව ජොතිශ්‍ය කාර්යාලයක් ද පවත්වාගෙන යන්නට කටයුතු කරමින් සිටිනවා 

“ඇයි ඔයා ඔයාගේ පවුලේ අයව නෑයන්ව මට මුණ ගස්වන්නේ නැත්තේ?”

විවාහයට කාලයක් ගෙවී ගියත් ඒ ප්‍රශ්නය සඳරේකාට තිබෙනවා.නිමල් ඒ ප්‍රශ්නයට යහපත් පිළිතුරක් ලබා දෙන්නේ නැහැ.ඔහු කුමක් හෝ දෙයක් කියා එය මඟ හරිනවා.

සඳරේකාට රාජ්‍ය ආයතනයක රජයේ සේවිකාවක ලෙස පත්වීමක් ලැබුණු පසු ඔවුන් කොළඹ ස්ථිර පදිංචිය සඳහා පැමිණෙනවා.ඇය පශ්චාත් උපාධියට ද සූදානම් වෙමින් පවතිනවා.ඒ කාලයේදී ඇය යම් යම් අර්බුද ඉගෙනීම් කටයුතු සම්බන්ධයෙන් ඇති කරගන්නට පටන් ගන්නවා.සමීපතමයන් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ඒ ගැන ඇයගෙන් විමසුවත් ඇය කිසිම ප්‍රශ්නයක් නැති බව පවසන්නට වග බලා ගන්නවා.

“මට ප්‍රශ්නයක් තියනවා හැබැයි ඒක කාටවත්ම කියන්න බෑ.”

ඇය අවසානයේ එසේ පැවසූ අවස්ථාවක ඇගේ ආචාර්යවරයෙක් ඇයව මනෝ උපදේශනයට යොමු කරන්නට වග බලා ගන්නවා.

මේ ඇගේ කතාව සහ ඇයට සිදු වී තිබූ දේ සම්බන්ධයෙන් මනෝ උපදේශකවරයා පවසන කතාවයි.

මේ වෙද්දි සඳරේකාගේ විවාහයට වසර දෙකක් පමණ ගෙවී ගොස් තිබුණා.ඔවුන් දෙදෙනා අතර බොහෝ ගැටුම් ඇති වෙමින් තිබූ කාලයක් ඒ.

“මේ වෙද්දී නිමල් ගෙදරින් කෑම කන්නෙත් නෑ සර්.මම විතරයි ගෙදර උයන කෑම කන්නෙ. තමුසෙ මගෙ කෑමකට වහවත් දැම්මොත් කියලා එයා නිතරම කියනවා.”

සඳරේකා මට එසේ පැවසුවා.

“මම ඉගෙන ගන්නට නිමල්ගේ එතරම් කැමැත්තක් නෑ කියලා මට හිතෙන්න අරගෙන තියෙන්නේ.මගේ ටියුට් විසිකරනවා.මගේ ලෙක්චර්ස් තියන දවසට මට ගහනවා.මට මේවා කාටවත් කියන්න විදිහක් නෑ.අක්කා ඉන්නෙත් ගමේ.කොළඹ මට උදව්වට කවුරුත් නෑ.නිමල්ට ගොඩක් බලවත් හිතවත්තු ඉන්න නිසා මට කිසිම විසඳුමක් නෑ.”

 හරිහැටි නින්දක් නොමැති,ආහාර රුචියක් නැති,නිතරම සෘණාත්මක අදහස් වලින් පෙලෙන සඳරේකාට මේ වෙද්දි විශාද තත්ත්වයක් ඇති වෙමින් පවතින බව මට වැටහුණා.

“රස්සාවට ගියාම,කැම්පස් එකට ගියාම මම අමාරුවෙන් අනිත් අයත් එක්ක හිනාවෙලා ඉන්නවා ඒත් මම ඉන්නේ හිතින් අඬන ගමන්.”

සඳරේඛා ඉතාම සම්ප්‍රදායික යුවතියක්.විවාහ ජීවිතයේ බොහෝ ගැටලු ඇතත් දික්කසාද වීම හෝ විවාහය අත්හැර ගැනීම කාන්තාවකට විය හැකි දරුණුම අපරාධය බව ඇය විශ්වාස කරනවා 

“ඊට පස්සේ දන්න කියන අයට නෑදෑයින්ට කියන්නේ මොකක්ද?”

ඒක තමයි ඇයට තිබුණු ප්‍රශ්නය.ඇයට ඒවාට මුහුණ දීමට ශක්තියක් නැහැ.

මේ වෙද්දි නිමල්ට වෙනත් සම්බන්ධතාවයක් පැවතුණා.ඔහු සඳරේඛාට පෙනෙන්නට ම ඒ සම්බන්ධය ඉදිරියට පවත්වාගෙන ගියා.ඇයට ඇසෙන්නට පෙනෙන්නට ම අනියම් බිරිඳට ඇමතුම් ලබා ගන්නට ඔහු කටයුතු කළා.

“මාව කසාද බඳින්න කලිනුත් නිමල් මැරි කරල හිටපු කෙනෙක්. මම ඒක පස්සෙ තමයි දන්නෙ.එතනදිත් මාව රැවටීමට ලක් වෙලා.”

මේ සියල්ලම දැනගත් නමුත් සඳරේඛාට කිසිම විකල්පයක් පෙනෙන්නේ නැහැ.ඇයට තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ.පීඩනයෙන් පෙළෙන ඇයට විසඳුම් සෙවීමට අප ආරම්භ කළේ ඉන්පසුවයි.

ඔවුන්ට ඇත්තේ පිටතට පෙනෙන ලෙස හොඳින් පවත්වාගෙන යන විවාහයක්.ඔවුන් පිටත සමාජයට පෙන්වන්නේ ඔවුන් ඉතාමත් ආදරයෙන් ජීවත් වන යුවළක් බවයි.නමුත් වසරක් පමණ තිස්සේ ඔවුන් අතර විශාල අර්බුද පවතින බව දන්නේ ඔවුන් දෙදෙනා පමණයි.

මම මුලින්ම උත්සාහ කළේ ඔවුන්ට පවුල් උපදේශනය ලබා දීමටයි.නමුත් ඒ ලබා ගැනීම නිමල් තරයේ ප්‍රතික්ෂේප කර තිබුණා.ඒ වගේම තමන් මනෝ උපදේශනය ලබා ගන්නා බව නිමල්ට පවසන්නට සඳරේඛාගේ ලොකු කැමැත්තක් තිබුණේ ද නැහැ.ඒ නිසා ඇය මුහුණ දෙන මේ ගැටලු වලින් මිදී ගැටලුව විසඳා ගැනීමට සුදුසු තීරණ ගැනීම සඳහා ඇයව මානසිකව ශක්තිමත් කිරිම මම ආරම්භ කළා. ඇයට අවශ්‍ය මගපෙන්වීම ලබාදීම වසරක් පමණ තිස්සේ සිදු කරන්නට වුණා.

සැබෑවටම නිමල්ට ඇති ගැටලුව වූයේ සඳරේඛා තමන්ට වඩා අධ්‍යාපන ලබමින් ඉහළට යාම සහ ඔහු තුල වූ අසීමිත කාන්තා ඇසුරට ලොල් බව කියන කාරණා බව මට තහවුරු වුණා.ඔහු සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් නිගමනයකට පැමිණෙන්නට හැකි වූයේ සඳරේකා ඔහු ගැන පවසන දේවල් මත පදනම් ව හිඳිමින්. උපදේශනයට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ නිසා නිමල්ගේ පාර්ශවයේ ගැටලු නිවැරැදිව හදුනා ගැනීමට මට හැකියාවක් නැති වූ නිසා උපදේශනයට පැමිණ සහයක් බලාපොරොත්තු වූ සඳරේකාට මේ ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය මඟපෙන්වීමට තීරණය කළා

“පවුල ඉදිරියට පවත්වාගෙන යනවද?වෙන් වෙනවද?”

ඒ කාරණාව සම්බන්ධයෙන් ඇය සෘජු තීරණයක් ගත යුතු වුණා.

ඇයට සැබෑවටම අවශ්‍ය වූයේ නිමල් ගෙන් වෙන්වීමටයි.නමුත් ඇයට ඒ සදහා ශක්තියක් හෝ ධෛර්යයක් තිබුණේ නැහැ.ඉන්පසු සමාජයට මුහුණ දීමට ඇයට තිබුණේ විශාල බියක්.

රාජකාරි කටයුත්තකට කොළඹින් පිටතට යන්නට නිමල්ට සිදුවන්නේ ඒ අතර.පිටත් වූ දවසේ උදෑසන ඔවුන් දෙදෙනා අතර විශාල ගැටුමක් ඇතිවී නිමල් සඳරේඛා ට පහර දෙනවා.තීරණයක් ගන්නට සුදුසුම මොහොත පැමිණ ඇති බව සඳරේඛා ට වැටහෙන්නේ ඉන්පසුවයි.ඇය නිමල්ට ගෙදරින් පිටත් වන්නට හැර තමන්ට ජීවත් වීමට තැනක් සොයා ගන්නවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here