උඩු ගුවනේදී හාමුදුරුවන්ගේ බෑගයෙන් චීන්නු ලක්‍ෂ 5ක් උස්සලා

0
2

ගුවන්ගත වී තිබූ ගුවන් යානය තුළ දී රුපියල් හාර ලක්ෂ අනූ තුන් දහස් අටසිය පනස් පහක් වටිනා විදේශීය මුදල් තොගයක් සොරා ගත් චීන ජාතිකයන් දෙදෙනකු 25 වැනිදා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගුරු වෘත්තීයේ නිරත දීගල්ලේ මහින්ද හිමියෝ මහනුවර, පේරාදෙණිය ප්‍රදේශයේ විහාරයක වැඩ වාසය කරති. මෙම හිමියන් පෙරේදා (25 දා) උදෑසන 10.05 අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. මෙම ගුවන් යානය කටුනායක බලා ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී , ඒ හිමියන් සිය ශරීර කෘත්‍ය සඳහා වැසිකිළියට ගොස් ඇති අතර, එම ඇසිල්ලේ ගුවන් යානය තුළ සිටි චීන ජාතිකයන් දෙදෙනකු , උන්වහන්සේගේ ආසනය වෙත පැමිණ, එහි රාක්කයක තබා තිබූ ගමන් මල්ල තුළට අත දමා තිබේ.

ඒ මොහොතේ භික්ෂුන් වහන්සේ පැමිණීමත් සමග චීන ජාතිකයන් එතැනින් පලා ගොස් තිබූ අතර මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමක් එම හිමියන් එම අවස්ථාවේ සිදු කර නැත.

පසුව ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් පසුව, සිය නිශ්කාශන කටයුතු සඳහා අවශ්‍ය ලියකියවිලි සොයද්දී ගමන් මල්ලේ වූ විදේශ මුදල් තොගය නොමැති බව අනාවරණය වී තිබේ. ඒ තුළ යූරෝ 250 ක්, ස්ටර්ලින් පවුම් 100 ක්, ඇමෙරිකානු ඩොලර් 250ක් සහ මැලේසියානු රිංගිට් 3,850 ක් ද තිබී ඇත.

වහා ක්‍රියාත්මක වූ හිමියන් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණ මේ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර, පොලිසිය ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය සඳහා හිමියන් ද සමග පැමිණ තිබේ.

එහිදී එම චීන ජාතිකයන් වහ වහා ගුවන් තොටුපොළෙන් ත්‍රිරෝද රථයක නැගී පලා යන දර්ශන දැක ගත හැකි ව ඇති අතර , ගුවන් තොටුපොළ ත්‍රිරෝද රථ සංගම්වල සහායෙන් එම ත්‍රිරෝද රථය හඳුනා ගෙන, චීන ජාතිකයන් දෙදෙනා, එම විදේශීය මුදල් තොගය සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

පසුව සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී මෙම මුදල් රැගෙන මෙම චීන ජාතිකයන් දෙදෙනා ඊයේ (26 දා) කොළඹ දී කැසිනෝ ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබූ බව අනාවරණය කර ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇති චීන ජාතිකයන් වන්නේ 31 හැවිරිදි චෙන් මින් මින් සහ 58 හැවිරිදි චෙන් ක්‍රියු නැමැත්තන්ය. කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් යටතේ ගුවන් තොටුපොළ සංචාරක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත, උප පොලිස් පරීක්ෂකවරුන් වන චන්දන, සචිල මධුෂාන්, පොලිස් සැරයන් (67744) හේරත්, පොලිස් කොස්තාපල්වරුන් වන (77508) වීරකෝන්, (102313) වික්‍රමසිංහ යන නිලධාරීහු වැඩිදුර විමර්ශන කරති. ඊයේ (26 දා) මෙම චීන ජාතිකයන් දෙදෙනා කොළඹ අංක 01 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
කටුනායක ටී.කේ.ජී.කපිල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here