පළාත් හයකට 30දා තෙක් තද වැසි

0
2

බෙරගල – හල්දුම්මුල්ල පාරේ එක මංතීරුවක් විවෘත කෙරේ

දිස්ත්‍රික්ක 7කට නාය අනතුරු ඇඟවීම් තවදුරටත්

දිවයිනේ පළාත් හයකට ඊයේ (25දා) සිට නොවැම්බර් 30 වැනිදා දක්වා මිලි මීටර් 200කට වඩා වැඩි ඉතා තදවැසි අපේක්ෂා කරන බවත්, ගංගා පිටාර ගැලීමෙන් හා ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. දකුණු අන්ධමන් මුහුදු ප්‍රදේශය ආසන්නයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපය මෙම තත්ත්වයට බලපා ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, උතුරු මැද, නැඟෙනහිර, දකුණ, ඌව සහ බස්නාහිර පළාත් සඳහා අධික වැසි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ දහවල් වනවිටත් ප්‍රධාන ගංගාවල ජල මට්ටම ඉහළ නැඟ තිබූ අතර, ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබිණි.

පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන කෙරෙහි සියලුම ගංගාවල පහත් නිම්නයන්හි පදිංචි ජනතාව හා එම ප්‍රදේශ ඔස්සේ ගමන් කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

මේ අතර බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයට බෙරගල සහ හල්දුමුල්ල අතර ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් අවහිරවී තිබූ මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට ඊයේ (25දා) සීමාකර තිබේ. 24 වැනිදා රාත්‍රී මෙලෙස පස්කන්ද කඩා වැටී තිබේ.

කෙසේ වෙතත් අදාළ ප්‍රදේශය තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ අතර, නායයෑම් හේතුවෙන් මේ වනවිට වසා ඇති පහළ කඩුගන්නාව මාර්ගය වර්ෂාව නොමැති අවස්ථාවලදී පමණක් එක් මංතීරුවක් විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

අදාළ මාර්ගයේ වාහන ගමනාගමනයට විවෘත කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැතැයි එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්. බණ්ඩාර මහතා පැවසීය.

මේ අතර, වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක 7කට සිදුකර ඇති නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වලංගු බවද එම සංවිධානය කියයි.

බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, කුරුණෑගල, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව සඳහා මෙම අවදානම් නිවේදන නිකුත් කර ඇතැයි ද එම සංවිධානය පවසයි. මේ අතර කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කොළඹ යන දිස්ත්‍රික්ක සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් දෙවැනි මට්ටමේ නිවේදනයක් නිකුත් කර ඇති අතර එම ප්‍රදේශවල ජනතාවට විමිසිලිමත්ව සිටින ලෙස එම සංවිධානය කියයි.

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග කළු, ගිං, නිල්වලා යන ගංගාවල ජල මට්ටම ඊයේ (25දා) දහවල් වනවිට ඉහළ නැඟ තිබූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර පහළ කඩුගන්නාව ආශ්‍රිතව සිදුවූ ගල් පෙරළීමේ ආපදා තත්ත්වය පරීක්ෂා කර ඒ ස්ථානයට ගතයුතු කඩිනම් පියවර සහ විසඳුම් පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් කෑගල්ල දිසාපතිවරයාට සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් පසු මාර්ගය විවෘත කිරීමේ හැකියාවක් පවතින බව එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා ඊයේ (25දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම කටයුතු සිදුකිරීමට බාධා එල්ල වී ඇතැයි ද හෙතෙම කීය.

මෙම ප්‍රදේශය භෞතික මැනුම් කටයුතු සිදුකිරීමට අපහසු ස්ථානයක් බවත් මේ හේතුවෙන් ලයිඩා තාක්ෂණය සහ ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් එම ප්‍රදේශයේ මැනුම් කටයුතු සිදුකළ බවත්, ඒ අනුව එම ස්ථානය දීර්ඝකාලීනව ස්ථාවර කිරීම සඳහා වූ සැලසුම් සකස් කිරීම සඳහා පියවර පෙරේදා දිනයේදී ආරම්භ කළ බවත් හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ සුජීව තත්සර

ඡායාරූපය – තිසර සමල් එප්පාවල

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here