පැය 48 ඉවරයි: දොස්තරලා සැර වෙති

0
2

වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා රජයට ලබාදුන් පැය 48ක කාලය ඊයේ (25දා) අවසන් වූ බැවින් අද (26දා) සිය සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වී වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකිරීම පිළිබඳව අවසන් තීරණය ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සිය සංගමයේ ඉල්ලීම් සම්බන්ධයෙන් රජයට පැය 48ක කාලයක් ලබා දෙමින් අවසන් නිවේදනයක් ද නිකුත් කර තිබූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.

මෙවර අය-වැයෙන් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ පවතින සැබෑ ගැටලු විසඳීම සඳහා සාධනීය විසඳුම් ලබාදීම නොසලකා හැරීම හේතුවෙන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගතය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතභාවයක් මතුවී ඇති බවද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

එමෙන්ම ජනාධිපතිවරයා, සෞඛ්‍ය ඇමැති ඇතුළු වගකිවයුත්තන් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු විසඳීම වෙනුවෙන් නිශ්චිත කාලරාමුවක් සහිත විසඳුම් මාලාවක් ප්‍රකාශයට පත් කරමින් වර්තමානයේ සෞඛ්‍ය පද්ධතියේ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වය විසඳීමට වහාම මැදිහත් වනු ඇතැයි සිය සංගමය විශ්වාසයෙන් පසුවුණු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

සුජීව තත්සර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here