මාධ්‍ය නිදහස රකිනු සඳහාත් සිස්ටම් චේන්ජ් විය යුතුමය

0
2

මාධ්‍ය නිදහස නමැති සංකල්පයක් අප අවට ඇත. මෙයින් කියැවෙන්නේ පුවත්පත් නිදහස පමණක් නොවේ. කවර හෝ මාධ්‍යයක් යොදාගෙන අදහස් පළකිරීමට මනුෂ්‍යයාට ඇති නිදහසය. සමහරවිට එසේ අදහස් පළකරන මාධ්‍යය කැලෑ පත්තරයක් විය හැකිය. නැතහොත් පෝස්ටරයක් විය හැකිය. ඇතැම් විටෙකදී Hand Bill ලෙස හැඳින්වෙන අත්පත්‍රිකා මගින් ද මිනිස්සු අදහස් ප්‍රකාශ කරති. තවත් විටෙක රාජ්‍ය විරෝධී සංවිධාන Under Ground ගොස් රාජ්‍ය විරෝධී අදහස් ඇති පත්තර හොරෙන් අච්චු ගසා Private Circulation පදනම මත හොරෙන්ම බෙදා හරිති. එක්තරා කාලයකදී මාධ්‍ය නිදහස නමැති සංකල්පය ඉතා ශක්තිමත් වූ ද සුන්දර වූ ද එකක් විය. මාධ්‍යවේදියා බේරාගැනීම සඳහා සන්නාහය ලෙස ක්‍රියා කරන ලද්දේ මාධ්‍ය නිදහස නමැති සංකල්පයයි. එහෙත් අද වනවිට මේ සංකල්පය හිල් පෙනේරයක් බවට පත්ව තිබේ. විවිධ පුද්ගලයන් විසින් තබන ලද වෙඩිවලින් ද අනින ලද පිහි පහරවලින් ද ඒ සන්නාහය හිල් වී තිබෙයි. තව ටික කාලයක් ගතවනවිට පිටි හලා ගැනීම සඳහා මාධ්‍ය නිදහස නමැති මේ හිල් පෙනේරය පාවිච්චි කළ හැකිය. එතැන් සිට කතාව මෙසේය.

ලංකාවේ මාධ්‍ය නිදහසට බරපතළම තර්ජනය එල්ල වන්නේ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව විසින් 1973දී ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමත් සමගය. පෞද්ගලික දේපළක් වූ ලේක්හවුස් ආයතනය ඩී. ආර්. විජේවර්ධන විසින් ගොඩනඟා පවත්වාගෙන යන ලද්දකි. ඒ කාලයේ ආණ්ඩුවලට විශාලතම බලපෑම කළ හැකි වූයේ ලේක්හවුස් ආයතනයෙනි. අප මේ කියන කාලයේදී මේ රටේ ජාතික පුවත්පත් විශාල ප්‍රමාණයක් තිබුණේ නැත. ලංකාදීප, සිළුමිණ, දිනමිණ, දවස, ඇත්ත යන පත්තර මේ රටේ ජාතික පුවත්පත් කර්මාන්තයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයෝ වූහ. ඊට අමතරව වීරකේසරී සහ තිනකරන් නමැති දෙමළ පත්තර ද අපේ රටේ විය. යාපනයේ ද කුඩා ප්‍රමාණයේ පුවත්පත් දෙක තුනක් යලට මහට මුද්‍රණය කරන ලදී. ඩේලි නිවුස්, ඩේලි මිරර්, සන්, ටයිම්ස් සහ ඔබ්සවර් යන පුවත්පත් ඉංග්‍රීසි පාඨකයාට තොරතුරු දැන්වීමේ මෙවලම් ලෙස ක්‍රියා කළේය. 1970දී මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුව බලයට එනවිට ලේක්හවුස් ආයතනයේ දේශපාලන මතවාදය යූඑන්පී විය. ඒ නිසා මේ පත්තර කන්තෝරුවට වැඩක් දිය යුතු බව මැතිනියගේ ප්‍රධාන ගෝලයා වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක හිතාගෙන සිටියේය. 70 ඡන්දයේදී ඩඩ්ලි සේනානායක රජය පැරදී යූඑන්පීය පාර්ලිමේන්තුවේ ආසන 8ට බැස්සේය. එය ඒ කාලේ හැටියට සුනාමි ජයග්‍රහණයකි. මේ නිසා මේ රට ජනරජයක් බවට පත් කළ බණ්ඩාරනායක මැතිනිය (එය ඉතා හොඳ වැඩකි) 1973දී ලේක්හවුස් ආයතනය ජනසතු කර (එය ඉතා නරක වැඩකි) එළුවාගේ බෙල්ල කපා මුට්ටියත් බින්දේය. එදා එළුවාගේ බෙල්ල කැපීමෙන් හාත්පස විසිරුණු ලේ පැල්ලම් අදටත් වියළී නැත. 1977දී සිරිමා බණ්ඩාරනායකගේ බැට්න් එක අතට ගත් ජේ. ආර්. ජයවර්ධන පත්තරවලට හිරිහැර කරන්නට පටන් ගත්තේය. ඔහු ඇත්ත පත්තරයට නොයෙකුත් බාල්දි පෙරළුවේය. දිවයිනට විවිධාකාරයෙන් බලපෑම් එල්ල කළේය. මේ රටේ පත්තර කර්මාන්තය තුළ ඇත්ත පත්තරය සහ දිවයින පත්තරය තරම් පරිප්පු කෑ වෙන එක පත්තරයක්වත් නැත. පරිප්පු යනු ප්‍රෝටීන් බහුල ආහාරයකි. එහෙත් ප්‍රෝටීන් ජීර්ණය නොවීමේ ලෙඩක් ඇත්ත පත්තරයට තිබුණේය. ඒ නිසා එය වැසී ගියේය. මේ අතර ජේ. ආර්. දුන් පරිප්පුවල තිබූ ප්‍රෝටීන දිවයිනට ඉතා හොඳින් දිරෙව්වේය. එබැවින් දිවයින අදටත් නොසෙල්වී පවතී. තමන්ට එරෙහි පත්තරයක් හෝ වෙනත් මාධ්‍ය ආයතනයක් වැසී යෑම ආණ්ඩුවේ ප්‍රාර්ථනය වේ. ඒ ප්‍රාර්ථනය දිවයිනට ගළපා ගැනීමට 1977න් පසු පහළ වූ කිසිදු ආණ්ඩුවකට හැකි වී නැත. වසර 2000න් පසු මේ රටේ ආණ්ඩු මාධ්‍ය මර්දනය කරන ලද්දේ රහස් පොලිසිය සහ නීතිය හරහාය. ඊට පෙර ද ජේ. ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව විසින් බලගන්වන ලද සාපරාධී අපහාසය නමැති නීතියක් තිබිණ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙය අහෝසි කළාය. එය අහෝසි වූ පමණින් පත්තරකාරයන්ට කරදර කිරීම සීඅයිඩිය අත්හැරියේ නැත. අපට හැඟෙන පරිදි සීඅයිඩියේ දරුණුම වධයට ලක්වූ පුවත්පත ලෙස දිවයින හැඳින්වීමට පුළුවන. එය ජේ. ආර්. ගේ කාලයේදී දිවයිනේ මාධ්‍ය දැඟලිල්ල මර්දනය කිරීම සඳහා දිවයින වෙනුවෙන් ම නිසි බලධාරියකු පත්කරන ලදී. ඒ බලධාරියාගේ නම සරත් අමුණුගම ය. අමුණුගම ඉතා හොඳ මිනිහෙකි. එමෙන්ම උගතෙකි. ඔහු කවදාවත් දිවයිනට ඇඟිලි ගැසුවේ නැත. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙසත් අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙසත් දීර්ඝ කාලීන පළපුරුද්දක් තිබූ සරත් අමුණුගම දිවයිනට ඇඟිලි ගැසීමට ලැජ්ජා විය. එවැනි හොඳ මිනිසුන් අද පරිපාලන සීන් එකේ නැතත් සීඅයිඩිය එම සීන් එකේ දිගටම සිටී. මෙයට දශක දෙක හමාරකට පමණ පෙර පුවත්පතක මතභේදාත්මක පුවතක් පළවුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පත්තර කන්තෝරුවට පැමිණ කර්තෘගෙන් සහ ලේඛකයාගෙන් කටඋත්තර ලබාගත්තේය. එහෙත් දැන් තත්ත්වය වෙනස් වී ඇති අතර ප්‍රවෘත්තියට අදාළ පුවත්පතේ කර්තෘට සහ ලේඛකයාට සීඅයිඩියට යන්නට සිදුවේ. ලොකුම ප්‍රශ්නය නම් සීඅයිඩියට යන එකා ආපසු එන බවට තහවුරුවක් කා තුළවත් නොතිබීමය. එනම් කටඋත්තර දීම පිණිස සීඅයිඩියට යන පුවත්පත් කලාවේදියා ආපසු හමුවිය හැක්කේ බොරැල්ලේ වැලිකඩ පිහිටි රිමාන්ඩ් හිරගෙදරදීය. මීට සති කීපයකට පෙර දිවයිනේ පළවූ පුවතක් සම්බන්ධයෙන් කටඋත්තර දීම පිණිස සීඅයිඩියට ගිය චතුර පමුණුව නමැති ප්‍රවෘත්ති කර්තෘවරයා සීඅයිඩියෙන් එළියට එන්නේ පැය 8කට පමණ පසුවය. හේමන්ත රන්දුණු ද මේ පරිප්පුව කා ඇත. වතාවක් හේමන්ත රන්දුණු සහ ඉරිදා දිවයිනේ කර්තෘවරයා පැය 12කට වැඩි කලක් සීඅයිඩියේදී කටඋත්තර දුන්හ. මීට අවුරුදු 40කට පෙර සිටි පුවත්පත් කලාවේදී පරම්පරාව එම රස්සාවට ආවේම ජීවිත ආසාව අත්හැරීමෙනි. මෙහිදී වැදගත් යමක් සඳහන් කළයුතු වෙයි. දැන් වෙනත් අපේ සහෝදර පුවත්පතක ප්‍රධාන කර්තෘවරයකු වූ මහින්ද ඉලේපෙරුමට සී.අයි.ඩී. එන්නැයි දැනුම්දීමක් කර තිබේ. ජේ. ආර්. ජයවර්ධන පාලන සමයේ මේ රටේ ජාතික ආරක්ෂක ඇමැති ලෙස එදා ලලිත් ඇතුලත්මුදලි මහතා කටයුතු කරද්දී රටේ දකුණේ මෙන්ම උතුරේ දැඩි භීෂණකාරී වාතාවරණයක් තිබිණි. ඒවායේ පුවත් දිවයින නොබියව රටට වාර්තා කළෙමු. එහෙත් ඒවාට උරණ වී ඇතුලත්මුදලි මහතා අපව සී.අයි.ඩී. කැඳෙව්වේ නැත. එහෙත් අද… පත්තර වාර්තාකරුවකු පත්තරයකට ලියන්නේ සමාජ ආතල් ගැනීමට නොව වෘත්තීය අණපනත් මගින් තමාට පැවරී ඇති පරිදි දූෂණ, වංචා හෝ වෙනත් අපරාධ හෙළි කිරීමටය. එසේ හෙළිකරන අය මත ආණ්ඩුව යොදන පීඩනය ඉතාම වැඩිය. මේ පීඩනය ගැන පිටරටවලට ආරංචි වනවිට එය ආණ්ඩුවට හොඳ නැත. උදාහරණයක් ලෙස ජනාධිපති ප්‍රේමදාසගේ භීෂණ ආණ්ඩුව පැවති සමයේදී මැරවරයන් පිරිසක් විසින් ඇත්ත පත්තරයේ කාටුන් ශිල්පියා වූ යූනුස්ගේ නහය කපන ලදී. දාමරිකයන්ට කැපීමට වුවමනා වුණේ යූනුස්ගේ කට ය. එහෙත් යූනුස් දැඟලීම නිසා නාසය කැපිණ. දැන් මෙහි තිබෙන්නේ ප්‍රගතිශීලි ආණ්ඩුවකි. එසේනම් මාධ්‍ය නිදහසේද ‘සිස්ටම්’ චේන්ජ් විය යුතුමය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here