වහාම අල්ලා උසාවි ගේනවා
තමන්ට ප්‍රාන්ත රාජ්‍ය ඇතැයි සමහරු හිතනවා
රටේ ඕනෑම තැනක කටයුතු කරන්න පුරාවිද්‍යාවට පුළුවන්
මහජන ආරක්ෂක ඇමැති මැතිසබයේදී කියයි
වාලච්චේන හා කාත්අඩිචෝලෙයි ප්‍රදේශවල හඳුනාගත් පුරාවිද්‍යා ස්ථානවලට ගමන් ගන්නා මාර්ග හඳුනා ගැනීමට සවිකර තිබූ නාමපුවරු 8ක් ගලවා ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් හා දේපළ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ නීතිය කාටත් පොදු බවද තමන්ට ප්‍රාන්ත රාජ්‍ය ඇතැයි හිතා කටයුතු කිරීමට තවමත් නොහැකි බවද කී ඇමැතිවරයා පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධයෙන් රටේ ඕනෑම තැනක අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එම දෙපාර්තමේන්තුවට හැකි බවද ඇමැතිවරයා කීය.
මේ පිළිබඳ ඇමැතිවරයා කළ ප්‍රකාශය මෙසේය.
“පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාලච්චේන හා කාත්අඩිචෝලෙයි පොලිස් වසම්වල හඳුනාගත් පුරාවිද්‍යා ස්ථානවලට ගමන් ගන්නා මාර්ග හඳුනාගැනීම සඳහා සවිකර තිබූ නාමපුවරු කිහිපයක් කිසියම් පිරිසක් ගලවා ඉවත් කර ඇති බවට පොලිස් ස්ථාන දෙකකට පැමිණිලි ලැබී තිබෙනවා.

වාලච්චේන වසමේ දේවිමලේ පුරාවිද්‍යා ස්ථානයට ගමන් මාර්ගය හඳුනා ගැනීමට තිත්තවෙට්ටි හන්දිය, පල්ලච්චේන, කාමුක්කචේන, සාරවිලි යන ස්ථානවල පුරාවිද්‍යා සලකුණු සහිත නාමපුවරු 6ක් ඉකුත් 22දා ගලවා ඉවත් කර ඇති බවට එම ප්‍රදේශයේ පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියා වාලච්චේන පොලිසියට පැමිණිලි කර ඇත.
මෙම නාමපුවරු වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුදාගරන්, උප ලේකම් පත්මසීදන්, මන්ත්‍රි ආනන්දන් ඇතුළු අය ගලවා ඇති බවට පැමිණිල්ලේ සඳහන් වෙනවා. මේ පිළිබඳව වාලච්චේන අධිකරණයට කරුණු දක්වා වැඩිදුර විමර්ශන කර සැකකරුවන් හා දේපළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇත.
තවද කාත්අඩිචෝලෙයි සාන්තමලෙයි කෝවිලට පිවිසෙන මාර්ගය දැක්වෙන හතළිහ වත්ත හන්දිය හා සාන්තමලෙයි කෝවිලට හැරෙන හන්දියේ සවිකර තිබූ නාමපුවරු 2ක් 20දා ඉවත් කර ඇති බව එහි පුරාවිද්‍යා නිලධාරියා කාත්අඩිචෝලෙයි පොලිසියට පැමිණිලි කර ඇත.
රටේ නීතිය කාටත් පොදුයි. සමහර අය හිතාගෙන ඉන්නවා තමන්ට ප්‍රාන්ත රාජ්‍ය තියෙනවා කියලා. එහෙම කටයුතු කරන්න කාටවත් හැකියාවක් නෑ. උතුර, නැඟෙනහිර, දකුණ, බටහිර නීතිය කාටත් පොදුයි. මෙවැනි ක්‍රියාමාර්ග ගන්න ඉඩ දෙන්න හැකියාවක් නෑ. පුරාවිද්‍යා ස්ථාන සලකුණු කරන නාමපුවරු දීර්ඝ කාලයක් තිස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති ඒවා. එය ලංකාවේ නීතිය. ලංකාවේ ඕනම තැනක සවි කිරීමේ හැකියාව තියෙනවා. ගලවා ඉවත් කිරීමෙන් ජාතිවාදි ප්‍රශ්නයක් ඇතිකර ගැනීමේ අවස්ථා අපි දැක තිබෙනවා. ජාතිවාදයට කිසිදු ඉඩක් නෑ.”
රනිල් ධර්මසේන
Saru FM Media









